ශ්‍රී ලංකා රජයට සතුට පළ කෙරේ



කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ජාත්‍යන්තර කම්කරු සංවිධානය ශ්‍රී ලංකා රජය වෙත සතුට පළ කරන බව එම සංවිධානයේ ශ්‍රී ලංකාව හා මාලදිවයින බාර අධ්‍යක්ෂිකා සිම්රින් සිං මහත්මිය පැවසුවාය.

ඇය මේ බව කියා සිටියේ කොරෝනා හෙවත් කොවිඩ් 19 වසංගතය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදේශ සබඳතා සහ  නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා කටයුතු සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවැති විශේෂ හමුවකදීය.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේ දී පැවැති මෙම හමුවේදී අදහස් දැක්වූ ඇය කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ සේවක වැටුප් ගෙවීම,වෘත්තීය සුරක්ෂිතතාව හා ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නිසි ලෙස පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රජය මෙතෙක් ගෙන ඇති පියවර ප්‍රශංසා කටයුතු බව ය.

සමස්ත ලෝකයම අර්බුදයකට ගොස් ඇති මොහොතක ශ්‍රී ලංකා ආණ්ඩුව මෙරට ආර්ථිකය නගා සිටුවීමට අදාලව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සිම්රින් සිං මහත්මියට කරුණු පැහැදිලි කරන ලදි. විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් ගේ වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය සම්බන්ධයෙන් ද මෙහිදී දෙදෙනා විශේෂයෙන් සාකච්ඡා කළහ.

කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් මෙරට කම්කරු ක්ෂේත්‍රයට අවශ්‍ය ආධාර ලබාදීමට ද ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට නියෝජිතවරිය අමාත්‍යවරයාට පොරොන්දු විය.

මෙම විශේෂ හමුව සඳහා අමාත්‍යාංශ ලේකම් ඩී.එම්. සරත් අභයගුණවර්ධන,කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්ත යන මහත්වරු ද එක්ව සිටියහ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS