වෙඩි තැබීමේ සිද්ධිය



සෞදි අරාබියේ දී හාම්පුතකු විසින් සේවය කළ නිවෙස්දී වෙඩිතබා ඝාතනය කළ බව කියන ගාල්ලේ වඳුරඹ කටඹුරාවේ පදිංචිව සිටි ප්‍රියන්තා ජයසේකර (37) මහත්මිය සවුදි අරාබියට ගිය පසු ඇයට දුරකථන ඇමතුමක් දීමට පවා අවස්ථාව ලැබුණේ කාර්යංශය වෙත පැමිණිලි කිරීමෙන් පසුව යැයි  ඇගේ ස්වාමි පුරුෂයා පවසයි.

තම බිරිඳට කථා කිරීමට අවස්ථාවක් ලබා දෙන්නැයි තමන් පැමිණිලි කළ පසු කාර්යංශය මැදිහත් වී ඇය හා දුරකථනයෙන් සම්බන්ධවීමට අවස්ථාව ලබා දුන් බවත් ඉන් පසු කිහිප වතාවක් බිරිඳ දුරකථන ඇමතුම් දුන් බවත් මිය ගිය ප්‍රියන්තා ගේ ස්වාමි පුරුෂයා වන එච් පී උපුල් මහතා ලංකාදීපයට ප්‍රකාශ කළේය.

“එයා ගිහින් මාස අටයි. මාස තුනක් වැටුප් එව්වා. අන්තිමට ගිය මාසෙ දහ වෙනිදා මට කථා කරලා පන්සලට දානයක් දෙන්න කිව්වා. දරුවන් හොඳට බලා ගන්න කිව්වා. එහෙම කියද්දි වත් මේ වගේ දෙයක් වේවි කියල හිතුවෙ නැහැ. ” යැයි ද හෙතෙම පැවැසුවේය.
තිදරු මවක වන ප්‍රියන්තා ජයසේකර විදේශ ගත වී ඇත්තේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය ලබාගෙනය. ඇය ඉකුත් වසරේ අප්‍රේල් 25 වැනිදා විදේශ ගතවී ඇති අතර සවුදි අරාබියේ බුරේඞ් හි නිවසක සේවය සඳහා ඇය ගොස් තිබේ.

ඉකුත් සෙනසුරාදා උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් ඇය මිය ගොස් ඇති අතර වෙඩි තැබීම සිදුකළ තිස් හැවිරිදි හාම්පුතා ද වෙඩි තබාගෙන මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය ඊයේ (14) වාර්තා කළේය. ඔහු මානසික ආබාධයකින් පෙළෙන බව ද එම වාර්තා සඳහන් කොට තිබිණි.

මේ වනවිට ඇගේ සිරුර අල් රාස්  හි රෝහලක තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය හා මරණ පරික්ෂණය පැවැත්වීමට නියමිත  බවත් මූළික පරික්ෂණ කටයුතු එරට පොලිසිය විසින් කරගෙන යනු ලබන බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS