වීසා නොදුන් හේතුව විමසන්න



පලස්තීනයට යෑමට වීසා නොදුන්නේ ඇයිදැයි ශ්‍රී ලංකා රජය ඊශ්‍රායල රජයෙන් කරුණු විමසිය යුතු යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් කොළඹදී අද (24) පැවැසීය.

ආණ්ඩුව තුළ වුවත් පලස්තීනය සම්බන්ධයෙන් මත දෙකක් නොතිබිය යුතු බවත් සෑමවිටම පලස්තීන ජනතාවගේ නිදහස වෙනුවෙන් පෙනි සිටිය යුතු බවත් මන්ත්‍රීවරයා කීය.

පලස්තීනයට යෑම සඳහා වීසා නොදීම සම්බන්ධයෙන් කොළඹ පලස්තීන තානාපති කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා එම කරුණු පැවැසීය.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙසේ කීය.

“ ශ්‍රී ලංකාව සෑම විටම පලස්තීනය වෙනුවෙන් පෙනි සිටියා. පලස්තීනය සම්බන්ධයෙන් අපි මත දෙකක හිටියේ නැහැ. පලස්තීනය සම්බන්ධයෙන් අපිට නිරවුල් සහ පැහැදිලි ස්ථාවරයක් තිබෙනවා. අපි පලස්තීන ජනතාවගේ නිදහස වෙනුවෙන් පෙනි සිටිනවා. ශ්‍රී ලංකාවේ හැම ආණ්ඩුවක්ම, 1940 සිට පැවැති සෑම ආණ්ඩුවක්ම පලස්තීන නිදහස් අරගලයට සහාය දැක්වුවා. ආණ්ඩුව තුළ වුවත් මත දෙකක් නොතිබිය යුතු බව අපේ විශ්වාසයයි. ඒ නිසා පලස්තීනයට යෑමට අපට වීසා නොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඊශ්‍රායල රජයෙන් කරුණු විමසිය යුතුයි. අපි පලස්තීන ජනතාවගේ නිදහස, ස්වාධීන බව අයිතීන් වෙනුවෙන් පෙනිසිටිය යුතුයි”.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ බද්දේගම සමිත හිමි මෙසේ අදහස් දැක්වූහ.

“අපි ශ්‍රී ලාංකිකයන්. අපි ත්‍රස්තවාදීන් නෙමෙයි. අපි ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍ර හිමි පුරවැසියන්. පලස්තීනයට යෑමට නොදීම අපට කරන නින්දාවක්. එය අපේ රටට කරන ලද නින්දාවක් හා අපහාසයක්. වියට්නාම නිදහස වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අපි පෙනි සිටියා. නාසින් යුදෙව්වන් තලා පෙළා දමනකොට අපි යුදෙව්වන් වෙනුවෙන් හිටියා. දකුණු අප්‍රිකාවේ නිදහස් අරගලයේදී ශ්‍රී ලංකාවේ අපි ඔවුන් වෙනුවෙන් සිටියා. ඒ වගේම පලස්තීන ජනතාවගේ නිදහස වෙනුවෙන් අපි පෙනි සිටියා. යුදෙව්වන්ගේ නිදහස අපි පිළිගත්තා. යුදෙව්වන්ට නිදහසේ ජීවිත්වීමට අයිතියක් තිබෙනවා නම් පලස්තීන ජනතාවත් අනෙක් ජාතීන් සියලු දෙනාට අනෙක් සෑම පුරවැසියකටම නිදහසේ ජීවිත්වීමට අයිතියක් තිබෙනවා. සෑම ජාතියකටම රටකටම ස්වාධීනව සහ නිදහසේ ජීවත්වීමේ අයිතිය ස්වභාවයෙන්ම හිමිවනවා”.

සරත් ඉද්දමල්ගොඩ පියතුමෝද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මෙසේ කීහ.

“තවත් රටක සමුළුවක් අවලංගු කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමට තවත් රටකට අයිතියක් නැහැ. එය එකරැස්වීමේ මූලික අයිතිය උල්ලංඝණය කිරීමක්. එක් රටකට ඉහළින් සිටීමට තවත් රටකට අයිතියක් නැහැ. එහෙත් මේ අවස්ථාවේදී ඊශ්‍රායලය පලස්තීනයට ඉහළින් සිටිමින් පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝණය කර තිබෙනවා. රටක ශ්‍රේෂ්ඨත්වය හෝ විශිෂ්ඨත්වය යනු ඒ රට සතුව තිබෙන අවි ආයුද නෙමෙයි. ඔවුන්ගේ විශිෂ්ඨත්වය මැන බැලෙන්නේ එම රටේ හමුදාවේ බලවත්කම මත නෙමෙයි. ඒ රට ශ්‍රේෂ්ඨද නැද්ද යන්න තීරණය වන්නේ එම රට අසල්වැසි රටවලට සලකන ආකාරය අනුවයි”.

ජෙරුසලමේ වාර්ෂිකව පැවැත්වෙන සමුළුවකට යෑම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, බද්දේගම සමිත හිමි සහ සරත් ඉද්දමල්ගොඩ පියතුමා ඇතුළු පිරිසක් පලස්තීනයට යෑමට සූදානම් වුවද වීසා ලැබී ඇත්තේ සරත් ඉද්දමල්ගොඩ පියතුමාට පමණක් බව මෙම මාධ්‍ය හමුවේදී කියැවිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, බද්දේගම සමිත හිමි ඇතුළු අනෙක් පිරිසට වීසා ලබා දී නොමැති අතර වීසා ලැබුණු සරත් ඉද්දමල්ගොඩ පියතුමාටද පලස්තීනයට ඇතුළු වීමට ඊශ්‍රායල නිලධාරීන් අවසර දී නැති බව මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් කියැවිණි. මෙම සිදුවීම වී ඇත්තේ අප්‍රේල් 8 වැනිදාය.

ශ්‍රී ලංකාවේ පලස්තීන වැඩබලන තානාපති හිෂාම් අබු තාහා, ගෝලීය සාධාරණත්වය සඳහා වූ ශ්‍රී ලංකා මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ජයතිලක ද සිල්වා යන මහත්වරුද මෙම මාධ්‍ය හමුවට එක්වූහ.
 

හර්ෂණ තුෂාර සිල්වා

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි


RECOMMEND POSTS