විශේෂ නියෝජිත අහ්මඞ් ෂාහිඞ් ශ්‍රී ලංකාවේ



ශ්‍රී ලංකාවේ දින 12ක නිල සංචාරයක් සඳහා ආගම හෝ විශ්වාස කිරීමේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත අහ්මඞ් ෂාහිඞ් මහතා දිවයිනට පැමිණියේය.

ආගම හෝ විශ්වාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා ලබන 26 වැනිදා දක්වා මෙරට නිල රැඳී සිටින අතර එම කාලය තුළ වත්මන් රජයේ  නිලධාරීන්, ආගමික හෝ විශ්වාසය කිරීමේ ප්‍රජාවන්ගේ නියෝජිතයන්, සිවිල් සමාජ සංවිධාන සහ මෙරට සිටින එක්සත් ජාතීන් ගේ නේවාසික නියෝජිතයින්ද හමු වෙනු ඇත.

තවද හෙතෙම කොළඹින් බැහැර ප්‍රදේශවල ද සංචාරය කරනු ඇතැයි මෙරට එක්සත් ජාතීන්ගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා 2005 දී ආගම හෝ විශ්වාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ හිටපු විශේෂ වාර්තාකරු අස්මා ජහන්ගීර් ගේ සංචාරයේ දී ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ දී අත්කර ගෙන ඇති ප්‍රගතිය ගැන විමසා බලනු ඇතැයි  එම කාර්යාලය සිටී.

ශ්‍රී ලංකාවේ සියලු දෙනාම ආගම හෝ විශ්වාසය පිළිබඳ නිදහස භුක්තිවීඳීමේ දී පවතින සහ මතුවන බාධක හඳුනා ගැනීමට අරමුණු කරන ඔහු එවැනි බාධක ජයගැනීම ඉලක්ක කර ගත් නිර්දේශ ද ඉදිරිපත් කරනු ඇත.

හෙතෙම තම නිගමන සහ නිර්දේශ ඇතුළත් වාර්තාව 2020 මාර්තු මස ජිනීවා හි පැවැත්වෙන මානව අයිතිවාසිකම් කවුන්සලයට ඉදිරිපත් කරනු ඇත.

අහ්මඞ් ෂාහිඞ් මහතා මානව අයිතිවාසිකම් කවුන්සලය විසින් 2016 දී ආගම හෝ විශ්වාසයේ නිදහස පිළිබඳ විශේෂ නියෝජිත වශයෙන් පත් කරන ලදී.

එක්සත් රාජධානියේ එසෙක්ස් විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු වන ෂාහිඞ් මහතා මාලදිවයින ජනාධිපති දූෂණ විමර්ශන කොමිසමේ හිටපු සාමාජිකයෙකු මෙන්ම මාලදිවයින් ජනාධිපතිවරයගේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ උපදේශකයෙකු ද වූයේය. ඔහු 2005 සිට 2007දක්වා සහ 2008 සිට 2010 දක්වා මාලදිවයින් විදේශ ඇමතිවරයා ද වූයේය. ඔහු තම රට අන්තර්ජාතික මානව අයිතිවාසිකම් සන්ධාන නමයම අත්සන් කොට අපරානුමත කිරීමටත් ඒවා නීතිය සහ භාවිතාවේ දී ක්‍රියාත්මක කිරීමටත් මෙහෙය වූයේය. ෂාහිඞ් මහතා ඉරානයේ මානව අයිතිවාසිකම් තත්වය පිළිබඳ හිටපු විශේෂ වාර්තාකරු වශයෙන් ද සේවය කෙළේය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS