විධිමත් පසු විපරමක් ඕනෑ



‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වී මරණයට පත්වූ රෝගීන් සම්බන්ධයෙන් විධිමත් පසු විපරමක් කළ යුතු බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ, වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පැවැසීය.

දෛනිකව වාර්තා වන ‘කොවිඩ්-19’ ආසාදිත මරණ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසීමකදී වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා එසේ පැවසීය.

දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන් සහ ආසාදිත මරණ දෙස බැලීමේදී යම් ප්‍රමාණයක සමාජ ව්‍යාප්තියක් තිබෙන බව පෙනී යන බව ද වෛද්‍ය අබේසිංහ මහතා කීය.

එම නිසා මරණ සිදුවීමට හේතු සොයා බැලීම ඉතා වැදගත් බවත් හෙතෙම පැවැසීය.

“මේ මරණ වෙන්නේ ඇයි කියලා අපි බලන්න අවශ්‍යයි. ඇතැම් විට කෙරෙන්නේ සාමාන්‍ය රෝග විනිශ්චයක්. මරණ පරීක්ෂණ පවත්වන්නේ හදිසි මරණ පරීක්ෂකවරු. ඇතැම් විට අවශ්‍ය තොරතුරු නැහැ. ඇතැම් අයට සමහරවිට  ප්‍රමාණවත් තාක්ෂණික දැනුම නැහැ. නිවසේ අනිත් අය ලබා දෙන තොරතුරු ප්‍රමාණවත් නැහැ. එම නිසා  අපි මේ ගැන වෝහාරික විගණනයක් කළ යුතුයි. විද්වත් කමිටුවක් මේ පිළිබඳව සොයා බලන්න අවශ්‍යයි.

මේ වගේ දේවල් ඉතිහාසයේ වෙලා තිබෙනවා. මම වසංගත රෝග විද්‍යා අංශයේ ඉන්න කාලයේදී චිකන් ගුන්යා වයිරසය පැතිර ගියා. එය මාරාන්තික රෝගයක් නෙමෙයි. ඒ සමයේදීත් අම්පාර ප්‍රදේශයෙන් මේ වගේ මරණ වාර්තා වුණා. ඔවුන්ගෙන් බොහෝ දෙනා නිදන්ගත රෝගවලට ප්‍රතිකාර ලබපු අය බව පසුව කරන ලද සොයාබැලීම්වලදී අනාවරණය වුණා. ඇතැම් අය පරෙස්සම් වී තිබුණේ නැහැ. ඇතැම් අයගේ නොසැලකිල්ල. ඇතැම් අය ප්‍රතිකාර සඳහා රෝහල්වලට ගිහින් තිබුණේ නැහැ. නිවැරදි ලෙස ප්‍රතිකාර නොගැනීම, ප්‍රමාද වීම යනාදී කරුණු ගණනාවක් නිසා ඔවුන් මියගොස් තිබුණා.

මෙම වසංගතය පිළිබඳව මුලදී සමාජ ව්‍යාප්තියක් නැති බව ප්‍රකාශ වුණා. නමුත් කිසියම් ප්‍රමාණයක සමාජ ව්‍යාප්තියක් තිබෙන බව අපට දැන් යම් කිසි ප්‍රමාණයකට පිළිගන්න වෙලා තියෙනවා. එහිදි දැන් සිදුවන මරණ වලට හේතු පිළිබඳව ඉක්මනින් සොයා බැලීම ඉතා වැදගත්. විශේෂයෙන්ම රෝහල් පහසුකම් තිබෙන ප්‍රදේශවල මරණ වෙන්නේ ඇයි කියලා අපි සොයාබැලීමක් කළ යුතු යි. දැනට තිබෙන තොරතුරු තීරණ ගැනීමට ප්‍රමාණවත් නැහැ.

ඇත්තටම මේ මරණ වුණේ කොහොමද කියන දේ ගැන පසු විපරමක් කෙරෙන්න අවශ්‍යයි. ඒ කාර්යය කළා කියලා හෝ ඒවායේ තොරතුරු මේවා යැයි කියන්න තොරතුරු අප සතුව නැහැ. අපට එහෙම දැනගන්නත් නැහැ. එහෙම තොරතුරු දැනගන්න අපේ රට ක්‍රමවේදයක් නැහැ. තොරතුරු ප්‍රමාණවත් නොමැති නිසා මරණ පරීක්ෂණයේදී දෙනු ලබන රෝග විනිශ්චය මත එවැනි මරණ වැළැක්වීමට හැකියාවක් නැහැ.

විද්වත් කමිටුවක් මේ ගැන සොයා බලලා රටට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුවෙමින් තිබෙන දේ  කිව යුතුයි. ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් දිය යුතුයි.

ඒ නිසා මරණ පිළිබඳ සොයාබැලීමක්, නිවැරැදි පසු විපරමක් කිරීම අත්‍යවශ්‍යයි. ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්න අවශ්‍යයි. මේක එක් කෙනකුට දෙන්නකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ වගේ වසංගතයක් පාලනය කිරීම තනි පුද්ගලයකුට හෝ කුඩා පුද්ගල කණ්ඩායමකට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකට විධිමත් යාන්ත්‍රණයක් අවශ්‍යයි. ඒ යාන්ත්‍රණය ක්‍රියාත්මක විය යුතු යි. ඒ යාන්ත්‍රණය අනුව ක්‍රියාමාර්ග ගන්න වැඩපිළිවෙළක් අවශ්‍යයි.

අපට වැඩපිළිවෙළක් තියෙනවා කියලා කියනවා. ඒ වැඩපිළිවෙළ තුළ එන ප්‍රතිඵල තමයි අපි දකින්නේ. ඉන්නේ කවුද, සාකච්ඡා කරන්නේ මොනවාද, ගන්න තීන්දු තීරණ මොනවාද, උපදෙස් දෙන්නේ කවුද මොනවාද ලබාදෙන උපදෙස් කියලා අපි දන්නේ නැහැ. එහෙත් අපි සිදුවීම් පෙළක් මාධ්‍යවලින් දකිනවා. දැන් මේවා කොරෝනා මරණම නොවේ කියාත් කියනවා.”

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS