විදේශ රැකියා ඇමැතිනිය තලතා, සුජානි මහත්මියගේ සුවදුක් විමසයි



කුවේට් හි රැකියාවේ නිරතව සිටියදී වැටීමකින් තුවාල ලබා මේ වන විට මෙරටට ගෙන්වා ගෙන අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කර සිටින නොච්චියාගම සුජානි රාජපක්ෂ මහත්මියගේ සුව දුක් සොයා බැලීමට විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පසුගිය ඉරිදා (26) අනුරාධපුර රෝහලට ගියාය.

එහිදී ඇයගේ ප්‍රතිකාර වෙනුවෙන් රුපියල් ලක්ෂ 4ක මුදලක් පරිත්‍යාග කළ ඇමතිනිය ඇයගේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පහසුකම් සැළසීමටද කටයුතු කර ඇත.

2014 දෙසැමිබර් මාසයේ දී කාර්යාංශයේ ලියාපදිංචි වී කුවේට් හි රැකියාවක් සඳහා විදේශ ගතවී ඇති සුජානි 2015.12.06 වන දින තම සේවා ස්ථානයෙහි ඉහළ මහලේ සිට වැටීම හේතුවෙන් රෝහල් ගත කර ඇත. ඉන් ඇගේ කොඳු ඇට පෙළ බිඳීමක් සිදුවී තිබේ. කුවේට්හි අල් අදාන් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඇය පසුගිය දෙසැම්බර් 27 දා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දිවයිනට ගෙන්වා ගන්නා ලදී.

ඇයගේ සුවදුක් බැලීමට ගිය විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය මාධ්‍යවේදින් හමුවේ මෙසේ කිවාය.

“මෙතුමිය සම්බන්ධයෙන් කිසිම හෝඩුවාවක් නැහැයි කියලා මාගේ සම්බන්ධීකරණ ලේකම් සඳහන් කරලා තිබුණා. පසුව අපේ තානාපති කාර්යාලයේ නිළධාරීන්ගේ මැදිහත් වීමෙන් ඇය හදිසි අනතුරකට ලක් වෙලා කියලා හොයා ගත්තා. පසුව ඒ තාත්තා සහ පවුලේ අයව කොළඹට ගෙනල්ලා ඇත්ත තත්වය කියලා තේරුම් කරලා දුන්නා. පවුලේ ඥාතීන්ට අවශ්‍ය නම් බලලා එන්න පුලුවන්කම සලසලා දුන්නා. ඇය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද කියලා සොයලා බැලුවා. ඇය සිහිමද තත්වයෙන් තමයි හිටියේ. නමුත් කවුරුත් හඳුනන්නේ නැහැ. කුවේට් රෝහලේදි අතින් තමයි කතා කරලා තිබුණේ. තාත්තාගේ ඉල්ලීම  වුනේ ලංකාවට ඇයව ගෙනත් දෙන්න කියලා. ඒ නිසා සම්පූර්ණයෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වියදමින් ඇයව ලංකාවට ගෙනාවා. ඇයව එහෙන් එව්වේ විශේෂ ඇඳක, හෙද නිළධාරිනියක් සමඟයි. ලක්ෂ 15 කට ආසන්න මුදලක් ඒ සියලුම කටයුතු සඳහා වැය වුනා. අද දින ඇයගේ සුභසාධනය වෙනුවෙන් ඇයගේ කටයුතු සඳහා ලක්ෂ 4 ක  මුදලක් ලබා දීලා,  රුපියල් 150,000 ක පමණ විශේෂ ගිලන් ඇඳක් පරිත්‍යාග කලා. විදේශගත ශ්‍රමිකයෙක් පිළිබඳ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වගකීමක් විදියට සලකලා තමයි මේ දෙවල් කරන්නේ. ඇය ඉක්මණින් සුවයක් ලබයි කියලා හිතනවා.”

මෙහිදී අමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කලේ, “මේ වෙලාවේ මම පණිවුඩයක් කියන්න ඕනි. මෙවැනි අසරණ වුනු අයව ඉස්සරහට දාගෙන ව්‍යාපාර බවටත් පත් කරගෙන තියනවා. උදව්වක් කිරීමේ බලාපොරොත්තුවෙන් කරනවා නම් අපේ කිසිම ප්‍රශ්නයක් නැහැ.” යනුවෙනි.

විනීතා එම්. ගමගේ


RECOMMEND POSTS