විදෙස් සංචිත බිලියන නවය ඉක්මවාලා



මේ වසර අවසන් වනවිට රටේ විදෙස් සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන නවය ඉක්මවා යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සිකුරාදා (1) ප්‍රකාශ කළේය.

වසර 2015 අවසන් වනවිට ඩොලර් බිලියන 6ක් වූ විදෙස් සංචිත 2017 වසර අවසන් වනවිට ඩොලර් බිලියන 8ක් වර්ධනය වූ බව ද මහ බැංකු අධිපතිවරයා කීය.

ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සමාරම්භකයන්ගේ දේශනය කරමින් මහ බැංකු අධිපතිවරයා ඒ බව කීය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙසේ ද කීය.

“පසුගිය කාලයේදී රටේ සංචිත ප්‍රමාණය වැඩි වුණා. එය ප්‍රමාණාත්මක ලෙස විතරක් නෙමෙයි ගුණාත්මක ලෙසත් වැඩි වුණා. එයා ඉතා වැදගත්. ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාවට තවත් මුදල් ප්‍රමාණයක් ලැබෙන්න නියමිතයි. හම්බන්තොට වරායේ ඉතිරි මුදල් ලැබෙන්න තිබෙනවා. එහි අවසන් වාරිකය වන එක්සත් ජනපද ඩොලර් මිලියන 585ක් ඉදිරි සති කිහිපයේදී මෙරට ලැබෙන්න තියෙනවා. ශ්‍රී ලංකා චීනයේ ‘චයිනා ඩිවලොප්මන්ට්’ බැංකුව එක්සත් ජනපද ඩොලර් බිලියනයක සමඟ හවුල්කාරීත්ව ණයකට එළැඹුණා. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ඊළඟ ණය වාරිකය ද අපිට ලැබීමට නියමිතයි. එමගින් එක්සත් ජනපද ඩොලර් මිලියන 250ක් ලැබෙන්න නියමිතයි. මේ තත්ත්වය මත මේ වසර අවසන් වනවිට අපේ විදෙස් සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 9.5ක් පමණ වේවි”.

හර්ෂණ තුෂාර සිල්වා

ඡායාරූප ළහිරු හර්ෂණ


RECOMMEND POSTS