විදෙස් ශ්‍රමිකයන් රවට්ටන්න බෑ



විදේශ ගත ශ්‍රමිකයන් දිගින් දිගටම රවටන්නට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් ඔවුන් එවන මුදල් මාසයක් නවත්වා බලපෑමක් කරන්නට එතෙර අපි සංවිධානය සුදානම් වෙයි.

පසුගිය අයවැයෙන් විදේශගත ශ්‍රමිකයින් වෙනුවෙන් ගෙන ආ යෝජනා පවා මේ වන තෙක් ඉටු කර නැතැයි ද එම සංවිධානය පෙන්වා දෙයි.

විදේශගත ශ්‍රී ලාංකිකයන් විදේශ විනිමය ලංකාවට නොඑවන්නේ නම්  ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන බවත් රටේ ආර්ථිකයට එතරම් බලපෑමක් කරන විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ආණ්ඩුව නොසලකන බවට උදාහරණ බොහොමයක් ඇති බවත් එතෙර අපි සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ මුලස්ථානයේ අද (8) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් හඳුන්නෙත්ති මහතා මෙසේ ද කීය.

“ලංකාවේ ආර්ථිකය දුවන්නේ සංචාරක කර්මාන්තයෙන්වත් විදේශ ආයෝජනවලින්වත් රටේ සම්පත් විකිණීමෙන්වත් නෙවෙයි.ලංකාවට පැමිණ නැවත විදේශගතවනවිට ශ්‍රී ලාංකිකයින්ගෙන් ගුවන්තොටුපොළේදී ලියාපදිංචි ගාස්තු කියලා රුපියල් 17,500ක් අයකරනවා. කොරියා වැනි රටක ශ්‍රී ලාංකිකයෙකුට රැකියාවන් දෙකකට මාරුවීමේ හිමිකම ලබාදී තිබෙනවා.

නමුත් ලංකාවේ ආණ්ඩුව රැකියාව මාරුකරලා නැවත විදේශගතවන විට ගුවන්තොටුපොළේදී දඩයක් ගහනවා. එතෙර අපි සංවිධානය ලෙස දිගින් දිගටම මෙම ගාස්තුව ඉවත් කරන්න කියලා ඉල්ලීම් කළත් ආණ්ඩුවෙන් යහපත් ප්‍රතිචාරයක් නැහැ. කෝටි ගණන් නාස්ති කරන මේ ආණ්ඩුවට 17,500 මහ ලොකු ගාණක් නෙවෙයි.

ඒ වගේම අපි ආණ්ඩුවෙන් විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ඉල්ලීම් කිහිපයක් දිගින් දිගටම ඉල්ලා තිබෙනවා. ඔවුන් විදේශ රටකදී භාවිතා කරපු වාහනයක් ලංකාවට ගෙන්වා ගැනීමේදී තීරුබදු ඉවත් කරන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලලා තිබෙනවා. විදේශගත ශ්‍රී ලාංකිකයින් ලංකාවට එවන ලද විදේශ විනිමය ප්‍රමාණයට අනුව එම තීරුබදු සහනය ලබාදෙන ලෙස අපි යෝජනා කළා. ඒ වගේම ලංකාවේ ප්‍රධාන නගරවල තීරුබදු සහන ලබා ගැනීමේ මධ්‍යස්ථාන ඇතිකරන ලෙසත් ආණ්ඩුවට යෝජනා කළා.

ඒ වගේම විදේශගත ශ්‍රී ලාංකිකයින් නැවත ලංකාවට පැමිණ තමන්ගේ දරුවන් පාසැල්වලට ඇතුළත් කරගැනීමේදී විශාල අපහසුතාවයකට මුහුණ දෙනවා. පදිංචිය තහවුරු කර ගැනීම, ඡන්ද නාමලේඛන ලබාදීම වැනි අවස්ථාවලදී ඔවුන් විශාල දුෂ්කරතාවයකට පත්වෙනවා. ඒ නිසා පාසැල්වලට ළමුන් ඇතුළත්කර ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අපි ආණ්ඩුවට යෝජනා කළා. නමුත් මේ කිසිවක් ගැන ආණ්ඩුව අවධානය යොමුකරන්නේ නැහැ. ලංකාවට එවන විදේශ විනිමය ගැන පමණයි ආණ්ඩුව සැලකිල්ලට ලක්කරන්නේ.

අයවැය ලේඛනය දැන් විහිළුවක් පමණක් බවට පත්වෙලා. රටට එක තෙල් නැවක් ආවේ නැතිවුණාම අද රටම අඩපණ වෙන තත්වයක් උද්ගත වෙලා තිබෙනවා. නමුත් අපේ රටේ ආර්ථිකය මුළුමනින්ම දුවන විදේශ විනිමය ලංකාවට ආවේ නැත්නම් රටට මොකද වෙන්නේ? විදේශගත ශ්‍රී ලාංකිකයින් විදිහට ඉදිරියේදී අපි තීරණයක් ගන්නවා, ආණ්ඩුව මෙම ගැටලු ගැන අවධානයක් යොමු නොකරනවා නම් මාසයක් තුළ විදේශ විනිමය රටට එවන එක නවත්වන්න.

ආණ්ඩුව හිතනවා, විදේශගත ශ්‍රීලාංකිකයින් සංවිධානය නොවුණු පිරිසක් කියලා. නමුත් ඔවුන් සංවිධානගතව වැඩකරන පිරිසක්. ආණ්ඩුව ඔවුන් වෙනුවෙන් දක්වන්නේ කුඩම්මාගේ සැලකිල්ලක් නම් විදේශගත ශ්‍රීලාංකිකයින්ගේ බලය ආණ්ඩුවට පෙන්වීම සඳහා විදේශ විනිමය රටට එන එක සංකේතාත්මකව නතර කිරීමේ ක්‍රියාමාර්ගයක් ගැනීමට අපි සූදානමින් ඉන්නවා.

මේ රටේ ආර්ථිකයට විදේශගත ශ්‍රී ලාංකිකයින්ගෙන් බලපෑමක් තිබෙන බව පෙන්වන්න අපි සූදානම්. විදේශගත ශ්‍රී ලාංකිකයින් කියන්නේ ඇමතිවරුන්, මන්ත්‍රීවරුන්, විදේශගත වෙනවිට පිළිගන්න ඉන්න පිරිසක් හෝ උත්සව සංවිධානය කරන පිරිසක් නෙවෙයි. ඒ වගේම ඇමතිවරුන් විදේශගත වෙලා ඔවුන්ගේ දුක් ගැනවිලි අහගෙන ඇවිදින් එයාපෝට් එකේදී ප්‍රකාශයක් කරලා විදේශගත ශ්‍රමිකයින් රවටන්න පුළුවන්කමක් තව දුරටත් නැහැ.

විනීතා එම්. ගමගේ
 

 


RECOMMEND POSTS