වාර්තාව ප්‍රතික්ෂේප කරනවා



එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ඉදිරිපත් කළ වාර්තාවේ අඩංගු නිගමන සහ නිර්දේශ ශ්‍රී ලංකා රජය තරයේ ප්‍රතික්ෂේප කරන බව එම කවුන්සිලයේ දී ප්‍රකාශයක් කරමින් විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව අමතමින් අමාත්‍යවරයා ඒ බව කීවේය.

ඕනෑම ස්වයං-ගෞරවයක් සහිත ස්වෛරී රටක පාලනය පිළිබඳ කරුණු සහ මූලික වශයෙන් දේශීය කරුණු ඇතුළත් කරමින්, අසාධාරණ ලෙස තම විෂය පථය සහ බලය ඉක්මවා යමින් ඉදිරිපත් කර ඇති මහ කොමසාරිස්වරියාගේ වාර්තාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන්නේ යැයි ද අමාත්‍යවරයා කීවේය.

මෙම වාර්තාව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 2 (7) වගන්තිය වන “වර්තමාන ප්‍රඥප්තියේ අඩංගු කිසිවක් මඟින් කිසිදු රාජ්‍යයක දේශීය අධිකරණ බලය තුළ පවතින කාරණාවලට මැදිහත් වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලය පවරන්නේ නැත” යන්න සම්පූර්ණයෙන් උල්ලංඝණය කිරීමක් යැයි ද ඔහු කීවේය.

මෙම වාර්තාවේ නිර්දේශ සහ නිගමන මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව කරන නිර්දය ලුහුබැඳීම, දේශපාලනීකරණය සහ අගතිගාමී න්‍යාය පත්‍රය පෙන්නුම් කරන බව ද ඔහු කීය. වාර්තාවේ නිර්දේශ සහ නිගමන සියල්ල වැරැදි ලස ගොඩනංවන ලද චෝදනා මත පදනම් වී ඇතැයි ද අමාත්‍යවරයා පැවැසීය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සහ දේශීය ප‍්‍රමුඛතා සහ ප‍්‍රතිපත්තිවලට අනුකූලව, මෙම කවුන්සිලය ද ඇතුළුව එක්සත් ජාතීන් සමඟ සහ අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ අංශවල දී ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ඵලදායි ලෙස සම්බන්ධ වීම ශ්‍රී ලංකාව විවෘත යැයි ද විදේශ අමාත්‍යවරයා තවදුරටත් කීය.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS