ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සමඟ සාකච්ඡා



ශ්‍රී ලංකාවේ ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගේබ්‍රියේසිස් මහතා සමග zoom වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පැවැත්විණි.

එහිදී කොවිඩ් පාලනය සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසාව පළ කළ ටෙඩ්රෝස් ගේබ්‍රියේසිස් මහතා ඊට පූර්ණ සහාය ලබාදෙන බව ජනාධිපතිතුමා සමඟ පැවසීය.

පළමු කොවිඩ් රැල්ලට සාර්ථකව මුහුණ දෙමින් වසංගතය පාලනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දුන් නායකත්වය ටෙඩ්‍රොස් ඇඩ්හැනොම් මහතාගේ ප්‍රසාදයට ලක්විය. ශ්‍රී ලංකාව අත්කරගත් සාර්ථකත්වය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් පැවති සමුළුවලදී සාකච්ඡාවට ලක් කෙරුණු බව ද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියා සිටියේය.

මෙවර ද, කොවිඩ් වයිරසය පැතිර යාම ඉතා ඉක්මණින් පාලනය කිරීමට ශ්‍රී ලංකා රජයට හැකිවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය බලාපොරොත්තු පළ කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානය කලාපීය මට්ටමින් හා කොළඹ පිහිටි කාර්යාලයෙන් ලබාදෙන සහයෝගය පිළිබඳව ජනාධිපතිතුමා ටෙඩ්‍රොස් මහතාට සිය ප්‍රශංසාව පළ කිරීමට ද අමතක නොකළේය.

මේ අතර, ඇස්ට්‍රාසෙනකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් ජනතාවට එහි දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා එම එන්නත සොයා ගැනීම දුෂ්කර වී ඇතැයි එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසා ඇත.

ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් එන්නත නිපදවන ඉන්දියාවේ පූනේ නුවර සීරම් ආයතනයට, ඉන්දියාව මුහුණ දී ඇති අර්බුදය නිසා එන්නත් සැපයිම කළ නොහැකි වී ඇති බවත්, සීරම් ආයතනය නිපදවන එන්නත් ඉන්දියාවට පවා ප්‍රමාණවත් නොවන බවත් වීරතුංග මහතා පැහැදිලි කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් ආයතනයට පවා එම කොවිෂීල්ඩ් එන්නත සොයාගැනීම දුෂ්කර වී ඇතැයි ද ඔහු පෙන්වා දෙයි. කොවිෂීල්ඩ් එන්නත් හැකිනම් ලබා දෙන්නැයි රජය සිරම් ආයතනයෙන් ඉල්ලීම් කර ඇති බවත් එහෙත් ඔවුනට රජයේ ඉල්ලීම ඉටු කිරීමට නොහැකි වී ඇති බවත් ලලිත් වීරතුංග මහතා පවසා තිබේ. එන්නත් මිලදී ගැනීමට රජයට මුදල්වල ප්‍රශ්නයක් නැතැයි ද ඔහු අවධාරණය කරයි.

සයිනෝෆාම් එන්නත භාවිතයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවීමත් සමඟ, චීන රජයෙන් මෙරටට ප්‍රදානය කර ඇති සයිනෝෆාම් එන්නත් ලාංකිකයන්ට ලබා දීමට ඉදිරියේ දී කටයුතු කරන බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව, මෙරට ජනතාවගෙන් වැඩි පිරිසකට සයිනොෆාම් එන්නත ලබාදීමට හැකිවන බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මීට අමතරව, ෆයිසර් කොරෝනා මර්දන එන්නත මෙරට භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය අද ලැබී ඇත. සියයට 95 කට වැඩි සාර්ථකත්වයක් පෙන්නුම් කරන ෆයිසර් එන්නත ඇමරිකාවේ නිෂ්පාදනය කරනු ලබන්නකි. ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 50 ආනයනය කිරීමට කටයුතු කර ගෙන යන බව කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය කියයි.


RECOMMEND POSTS