ලොක්ඩවුන් පෝෂණ මල්ලක්



පාසල් දරු දැරියන්ගේ පෝෂණය ඉහළ නැංවීම සඳහා දෛනිකව බිත්තර ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුවී ඇති බවට පසුගිය දිනවල දී පුවත් වාර්තා පළ වී තිබිණි. ඊටත් කලියෙන් ගර්භණී මවුවරුන්ට පෝෂණ මල්ලක් ලබාදුන්නේ ය.

පාසල් දරු දැරියන්ගේ පෝෂණය ඉහළ නැංවීම සම්බන්ධයෙන් කලක පටන් කතාබහ ඇතිවෙමින් නැතිවෙමින් යයි. කලකට කලින් ආහාර වේලක් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුවිය. තවත් කලෙක කිරි වීදුරුවක් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු විය. පාසල් දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් කතා කිරීමට පෙර, පෙර පාසල් දරුවන් විශේෂයෙන්ම අවුරුදු 1ත් 5ත් අතර දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු ය. ඊටත් පෙර අපට ගර්භණී මවුවරුන්ගේ පෝෂණය සහ ඔවුන් හරහා දරුවාට නිසි පෝෂණය ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ හැකි ය.

‘කොවිඩ්-19’ ලොක්ඩවුන් සමයේදී දරුවන්ගේ පෝෂණ මට්ටම් පහළ වැටුණු බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ වාර්තාවලින් මෙන්ම අනෙකුත් අධ්‍යයන වාර්තා වලින් අනාවරණය වී තිබිණි. නව කොරෝනා වයිරස වසංගතයේ බලපෑමත් එම වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට පැනවූ ලොක්ඩවුන් සීමා හේතුවෙන් පවුල්වල ආදායම් මාර්ග ද වේගයෙන් පහළ වැටිණි.

ආදායම් මාර්ග පහත වැටීම පවුලේ සාමාජිකයන්ගේ විශේෂයෙන්ම දරුවන්ගේ ආහාර රටාවලටද බලපෑම් එල්ල කළේය. අනෙක් අතට ඔවුන්ගේ පෝෂණ තත්ත්ව හා මට්ටම් වලට දැඩි බලපෑමක් එල්ල කළේය.

“ලොක්ඩවුන් කාලයේදී වුණ දේවල් ආයේ නොවෙන්න අපි වග බලාගන්න වුවමනායි. ඒ වගේම දැන් මේ සීමා අඩුවෙමින් තිබෙනවා. ජනතාව අනිවාර්යයෙන්ම තම තමන්ගේ කෑම බීම ගැන බලන්න අවශ්‍යයි. විශේෂයෙන්ම දරුවන් හා ගර්භණී මවුවරුන්. හොඳ පෝෂදායී ආහාර ලබාගැනීම ශක්තිමත් ප්‍රතිශක්තීකරණ පද්ධතියකට බලපානවා. කොහොම වුණත් අනෙක් පෝෂ්‍ය පදාර්ථ ලබාගන්නවා වගේම යකඩ ගැනත් බලන්න වුවමනායි. කොරෝනා සමයත් මේ ගතවන කාලයේදීත් යකඩ ඌණතාව , නැත්නම් යකඩ අඩුවීම සියයට 20ක් තිබ්බ එක සියයට 30ක් වෙන්න පුළුවන් කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයත් කියලා තියෙනවා. ඒ වැඩිවීම නවත්වන්න තමයි අපි මේ උපදෙස් දෙන්නේ යැයි” යැයි වෛද්‍ය ආර්. අජන්තන් පැවැසීය.

වෛද්‍ය අජන්තන් ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයා ද වේ.

“ගර්භණී අම්මා කෙනෙක්, එහෙම නැතිනම් ගැබ් ගැනීමට අපේක්ෂා කරන අම්මා කෙනෙක් තමන්ගේ කෑම බීම ගැන බලන්න ඕනෑ. විශේෂයෙන්ම කෑමවල තියෙන යකඩ ප්‍රමාණය ගැන බැලීම අත්‍යවශ්‍යමයි. අනෙක් පෝෂ පදාර්ථ ගැන බලන ගමන් යකඩ ලැබෙන විදියත් බලන්න වුවමනායි. ඒක ඉතා වැදගත්.

ලොක්ඩවුන් කාලයේදී වුණ දේවල් බලද්දි, එහෙම දේවල් නොවෙන්න අපි වගබලාගන්න ඕනෑ. අඩු වියදමකින් වැඩි පෝෂපදාර්ථ එහෙම නැතිනම් පෝෂපදාර්ථ වැඩි ආහාර ගන්න විදිය ගැන අපි බලන්න ඕනෑ.

අපි මුලින්ම ගර්භණී අම්මලා ගැන බලමු. බබාගේ වර්ධනයට බබාලා හැදෙන්න යකඩ අවශ්‍යයි. ඒ ටික ලැබෙන්නේ අම්මා ගන්න ආහාරවලින්. අම්මට පෝෂණය ලැබෙන්නෙත් අම්මා ගන්න ආහාර වලින්. ඊට අමතරව ගර්භණී අම්මලාට සායනවලින් (ක්ලිනික්) බෙහෙත් දෙනවා. අම්මා ප්‍රමාණවත් පරිදි යකඩ තියෙන ආහාර ගත්තොත් ඉපදෙන බබාට ඇතිවෙන්න පෝෂණය තියෙනවා. ඒ නිසා මාස හයක් යනතෙක් දරුවට මවුකිරි ප්‍රමාණවත්. අම්මා ශක්තිය තියෙන ආහාර ගත්තාම , අම්මලා තම තමන්ව බලා ගත්තොත් මාස හයක් යන තෙක් දරුවන්ට කිසි ප්‍රශ්නයක් නැහැ” වෛද්‍යවරයා පෙන්වාදුන්නේ ය.

ඉදිරි කාලයකදී ලොක්ඩවුන් හෝ ඒ හා සමාන අර්බුදයක් ප්‍රශ්නයක් පැමිණිය හොත් ලබාදිය යුතු ආහාර මොනවාද, දරුවන්ට, ගර්භණී මවුවරුන්ට ලබාදිය යුතු ආහාර මොනවාද සහ කළ යුත්තේ මොනවාද යන්න සම්බන්ධයෙන් ද අදහස් දැක්වීය.

නව කොරෝනා වයිරස වසංගතයේ පාලනය සඳහා ‘ලොක්ඩවුන්’ සීමා පැන වූ සමයේදී ආහාර මිල ගණන් ඉහළ යෑම, ආහාර ලබාගැනීමට නොහැකි වීම මෙන්ම පවුල් ඒකකවල ආදායම් පහළයෑම සම්බන්ධයෙන් ද වෛද්‍යවරයා අදහස් දැක්වීය.

“මේ වගේ ප්‍රශ්න ආවාම හෑම කෑම ජාතියකම වගේ මිල ඉහළ යනවා. අපිට අඩුවට ගන්න පුළුවන් ඒ වගේම පෝෂණය විශේෂයෙන්ම යකඩ තියෙන කෑම මොනාද කියලා බලන්න පුළුවන්. බිත්තර ඉන් එකක්. මාළු තවත් එකක්. විශේෂයෙන්ම පොඩි මාළු. මස් ජාතිවල මිල ගණන් ඉහළ යනවා. ගෙවත්තේ වගා කරන්න පුළුවන් දේවල් බලන්න වුවමනායි. කොළ ජාතිවල යකඩ තියෙනවා. ඒ වගේම ඇට වර්ග, ධාන්‍ය වර්ග තියෙනවා. ඒවායේ යකඩ තියෙනවා. ඇතැම් අයට සමහර දේවල් වගා කරන්න හැකියාව තියෙනවා. සමහරුන්ට ඒ හැකියාව නැහැ. ඒ වගේම එළවළු වර්ග. ඊට අමතරව කිරිවලින් යකඩ ලබාගන්න පුළුවන්.

අපි ගත්තොත් ගම් පළාත්වල මේ දෙවල් තියෙනවා. නැති අවස්ථාත් තියෙනවා. ඇතැම් ගෙවල් මේ ගොවිපොළ සත්තු, අපිට කිරි බිත්තර ලබාගන්න පුළුවන් සත්තු ඉන්නවා. එහෙම නැති අයත් ඉන්නවා.

දරුවන්ට ඝණ ආහාර ලබාදීම ගැන අම්මලා අවධානය යොමු කරන්න අවශ්‍යයි. ඒ නිසා දරුවන්ට ආහාර දෙන කොට යකඩ තියෙන්නේ මොන ආහාරවලද, පෝෂ්‍ය පදාර්ථ තියෙන්නේ මොන ආහාරවලද කියලා සැලකිලිමත් විය යුතුයි. එහිදි අඩු මි ලට ගන්න පුළුවන් යකඩ සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ තියෙන ආහාර මොනවාද කියලා බලන්න අම්මලාට හැකියාව තියෙනවා. මස් ගණන් වැඩියි. මස් ගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. කුකුල් මස්. සුදු මාළු වර්ග, වැව් මාළු වුණත් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට බිත්තර. බිත්තරේ කහ මදේ තමයි වැඩිපුර යකඩ තියෙන්නේ. ඇට වර්ග සහ කොළ ජාති. අපිට අතේ තියෙන මුදලින් සහ ගෙවත්තෙන් මේ දේවල් කළමනාකරණය කරගන්න පුළුවන්” යැයි ද වෛද්‍යවරයා තවදුරටත් පෙන්වා දුන්නේ ය.

වෛද්‍ය ආර්. අජන්තන්
ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති
සටහන – හර්ෂණ තුෂාර සිල්වා

RECOMMEND POSTS