ලාංකික ශ්‍රමිකයින් 460 ⁣දිවයිනට ගෙන්වා ගැනේ



කුවේටයේ නීතිවිරෝධී  ලෙස රැඳී සිටිනන් සදහා එරට රජය විසින් ප්‍රකාශයට පත් කළ සමා කාලය යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 460 දෙනෙකු දිවයිනට ගෙන්වා ගන්නා බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.

කුවේට් විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අහමඩ් නසර් අල් මොහොමඩ් අල් සබා මහතා සමඟ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැත්වූ දුරකථන සංවාදයකින් පසුව කුවේටයේ සිට මෙරටට මෙම ලාංකික සංක්‍රමණිකයින්ගේ පළමු කණ්ඩායම 19 දින ‘කුවේට් එයාර්වේස්’ සමාගමට අයත් ගුවන් යානා දෙකකින් මෙරටට ගෙන්වා ගැනීමට එකඟතාවය පළවූ බවද එම අමාත්‍යාංශය පෙන්වා දේ.

කුවේටයේ 19000 කට ආසන්න ලාංකිකක ශ්‍රමිකයින් නීතිවිරෝධී ලෙස රැදී සිටින බවට විදේශ සබඳතා අමාත්‍යාංශය මීට පෙර ගණනය කර තිබූ අතර කෙසේ වෙතත් ගෙන්වන ශ්‍රමිකයින් නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩ ප්‍රමාණය සීමිත වන බැවින්, ඊට අනුකූලව අදාළ නිරෝධායන සම්බන්ධීකරණය සිදු කෙරෙන බවද එම අමාත්‍යාංශය කියා සිටී.

කුවේට් රාජ්‍යය පොදුසමා කාලය තුළ එරටින් පිටව යන නීති විරෝධී සංක්‍රමණිකයන් වෙත ආගමන විගමන බලධාරීන් සමඟ සාකච්ඡා කර එම පිරිස් වෙත කුවේට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර  ලබා දීමට කටයුතු කළ බව  විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය

සාමාන්‍යයෙන් පොදු  සමා කාලය තුලදී එරට සේවය කිරීමේ අවස්ථාව අහිමිවූ තැනැත්තන්ට කිසිදු බලපෑමකින් තොරව එරට්න් පිටව යාමේ අවස්ථාව හිමිවන අතර, නෛතික වශයෙන් සේවය සඳහා නැවත කුවේට් රාජ්‍යය වෙත පැමිණිය හැකියාව ලැබෙන බවද අමාත්‍ය ගුණවර්ධන මහතා වැඩිදුරටත් කීයා සිටියේය.

කුවේට් රාජ්‍යයේ පොදු සමාව ලද ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය කැපවී සිටින බව අමාත්‍ය ගුණවර්ධන මහතා මෙම දුරකථන සංවාදයේදී කුවේට්හි විදේශ අමාත්‍යවරයා වෙත සහතික විය

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කුවේට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් 100,000 කට වැඩි පිරිසකට සෞඛ්‍ය පහසුකම් ඇතුලු අවශ්‍ය ආධාර සැපයීම පිළිබඳව  කුවේට් රජයට සිය ස්තූතිය පුද කරන බවද  අමාත්‍යවරයා පැවසීය

කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, කුවේට් රාජ්‍යය පදනම් කරගත් ශ්‍රී ලාංකික ප්‍රජාව සහ අනෙකුත් සුභසාධන කණ්ඩායම් සමඟ එක්ව, විදේශගත ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය වියළි සලාක අඛණ්ඩව ලබා දෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

දෙරට අතර ගුවන් ගමන් සීමා කිරීම හේතුවෙන් බලපෑමට ලක්ව ඇති ශ්‍රී ලංකා තේ සහ අනෙකුත් නිෂ්පාදනයන් කුවේට් රාජ්‍යය වෙත ආනයනය කිරීමේ කටයුතු ඉහළ නැංවීමට ඇති හැකියාව පිළිබදව සොයා බලන ලෙස ද විදේශ අමාත්‍යවරයා කුවේට්හි විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

තවද කුවේට් රාජ්‍යයේ සිට පොදු සමාව ලැබූ ශ්‍රී ලාංකිකයන් රැගෙන මෙරටට පැමිණෙන ගුවන් යානා, ශ්‍රී ලංකා අපනයනයන් කුවේට් රාජ්‍යය වෙත  ප්‍රවාහනය සදහා යොදා ගැනේ.

මෙම කරුණුවලට අදාළ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා දෙසතියකට වරක් දුරකතන සංවාදයක් පැවැත්වීමට කුවේට් - ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් දෙපළ මෙහිදී එකග වූහ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS