ලක්ෂ 18 ක් ඇවිල්ලා



පසුගිය වසරේදී විදේශීය සංචාරකයින් දහනම ලක්ෂ දහ තුන් දහස් හත්සිය දෙදෙනෙකු සංචාරය සදහා මෙරටට පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කර සිටී.

ඒ අනුව 2018 වසරේදී මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව හා සැසදීමේදී පසුගිය වසරේදී සංචාරකයින් පැමිණීම සියයට 18 කින් අඩු වී ඇතැයිද සංවර්ධන අධිකාරිය කියා සිටී. ඉකුත් 2018 වසරේදී පැමිණි විදෙස් සංචාරකයින් ගණන විසිතුන් ලක්ෂ තිස්තුන් දහස් හත්සිය අනූහයකි.

2019 වසර සදහා සංචාරකයින් පැමිණීමේ දත්ත නිකුත් කරමින් එම අධිකාරිය මේ බව කියා සිටී.

පසුගිය වරේදී සංචාරකයින් ලක්ෂ 25ක් මෙරටට පැමිණෙනු ඇතැයිද බලාපොරොත්තු වුවද පසුගිය අප්‍රේල් මාසයේ පැවති පාස්කු ඉරිදා ඛේදවාචකය හේතුවෙන් එම ඉලක්කය සපුරා ගත නොහැකි වූ බවද සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී.

පසුගිය වසර පුරා සංචාරකයින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර ඉන්දියානුවන් තුන් ලක්ෂ පනස් පන්දාහක් මෙරටට පැමිණ ඇත.ඊට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 198,776 ක්ද , චීනයෙන් 167,863ක්ද , ජර්මනියෙන් 134,899 ක්ද , ඕස්ට්‍රේලියාවෙන් 92,674ක්ද , ප්‍රංශයෙන් 87,623ක්ද , රුසියාවෙන් 86,549 ක්ද , ඇමෙරිකාවෙන් 68, 832 ක්ද , මාලදිවයිනෙන් 60,278ක් හා කැනඩාවෙන් 48,729 ක් වශයෙන් ලංකාවට පැමිණියහ.

සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ දත්ත වාර්තා වලට අනුව පසුගිය වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ සංචාරකයින් වැඩිම පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉකුත් දෙසැම්බර් මාසයේදී වන අතර එම මාසයේදී විදේශිකයින් 241,663 කු පැමිණි ඇත.නමුත් 2018  වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියයට 4.5ක අඩුවීමක් යැයිද එම අධිකාරිය කියා සිටී.

 ඊට අමතරව ඉන්දියාවෙන්, එක්සත් රාජධානිය සහ රුසියාවෙන් සංචාරකයින් මෙරට පැමිණි ඇත.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS