ලංකාවේ මානව හිමකම් තත්ත්වය යළිත් විමසා බැලේ !



ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් මානව හිමිකම් තත්ත්වය විමසා බැලෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ තිස් හතරවැනි මහ සභා සැසිවාරය ලබන 27 වැනිදා මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ ප්‍රධානත්වයෙන් ජිනීවාහි පිහිටි එම කවුන්සිල මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාව සම්බන්ධව සකස් කළ වාර්තාවේ ප්‍රගතිය මෙවර සැසියේ දී ලිඛිතව ඉදිරිපත් කිරීමට නියමිත අතර ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව, මානව හිමිකම්, යහපාලනය ආදිය සැලකිල්ලට ගැනීමේ දී ශ්‍රී ලංකාව මේ වන විට ලබා තිබෙන ප්‍රගතිය එම වාර්තාව මඟින් ප්‍රකාශයට පත් කරනු ඇතැයි  එම මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලය කියා සිටී.

මාර්තු මස 24 දා දක්වා පුරා මාසයකට ආසන්න කාලයක් පැවැත්වීමට නියමිත මෙම සැසිවාරයේදී  ශ්‍රි ලංකාව ,සුඩානය , ලිබියාව ,සිරියාව ඇතුළු  එක් එක් රටවල මානව හිමිකම් තත්ත්වය මෙන්ම එය ප්‍රවර්ධනය වෙනුවෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග, යුද ගැටුම්, ආර්ථික වර්ධනය ආදී වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි

ශ්‍රී ලංකාව තුළ සංහිඳියාවේ ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා රජය දරන උත්සාහය පිළිබඳ තෘප්තිමත් වන බවට මහ කොමසාරිස්වරයාගේ වාර්තාවේ සඳහන් කර තිබූ අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මඟින් සම්මත කළ යෝජනාවලිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ දී සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සහාය හිමිවිය යුතු බව ද සෙයිද් රාද් අල් හුසේන් පෙන්වා දී තිබිණි.

යුද ගැටුම් පැවැති සමයේ ශ්‍රී ලංකාවේ සිදුවී යැයි පවසන යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වූ ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන්ගේ වාර්තාව ඉකුත් 2015 වසරේ මාර්තු මස 2දා ස්විට්සර්ලන්තයේ ජිනීවා හි දී ආරම්භ වූ ජගත් මානව හිමිකම් කවුන්සලයේ 28 වැනි සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද එය ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට අනුව මාස හයක කාලයක් සඳහා කල් ලබාදෙන ලදී.

ඒ අනුව මහ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ විමර්ශන වාර්තාව පසුගිය 2015 වසරේ සැප්තැම්බර් මස 16දා ජගත් මානව හිමිකම් කවුන්සලය හමුවේ ප්‍රකාශයට පත් කරන ලදී.

එක්සත් ජාතීන්ගේ විශේෂඥයන්ගේ සහාය ඇතිව අදාළ යෝජනාව සඳහා වන දේශීය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙන අතර, සියලු භාෂාවන් පදනම් කර ගනිමින් මුහුණට මුහුණලා ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබාගන්නා බව ද එම උපදේශන ක්‍රියාවලිය සඳහා වන මූලික රාමුව සකස් කර තිබෙන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කරනු සඳහා  ශ්‍රී ලංකාව හා ඇමෙරිකා එක්සත් ජනපදයේ  සම අනුග්‍රහයෙන් සම්මත කරගත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව තුළ, යුද්ධයට අදාළ බොහෝ ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කිරීමටත් ඒවාට සාධාරණ විසඳුම් සොයා ගැනීමටත් අවස්ථාවක් වෙනුවෙන් කටයුතු කරන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ එකඟත්වය පළ කළේය.

පසුගිය 2015 වසරේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ එම යෝජනාව සම්මත කර ගැනීමෙහිලා සහාය දුන් ඇමෙරිකාව ,බ්‍රිතාන්‍ය ප්‍රධාන  රටවල් අපේක්ෂා කරනු ලබයි.

 

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS