රෝහලේ සිටින කත ගැන සොයයි



බහරේන් රාජ්‍යයේ සල්මානියා රෝහලේ ප්‍රතිකාර ලබන ශ්‍රී ලාංකික කාන්තාවක් පිළිබඳ තොරතුරු සොයා ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා  නියුක්ති කාර්යංශය ජනතාසහය පතයි.

ඇය පිළිබඳ තොරතුරු සොයා දෙන්නැයි බහරේන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දන්වා ඇතැයි කාර්යංශය කියයි.

බහරේන් රාජ්‍යයේ පොලීසිය මඟින් සල්මානියා රෝහලට ඇතුලත් කර ඇති මෙම කාන්තාව සිහිමද තත්වයේ පසුවන අතර ඇය නමින් ඉනෝකා දමයන්ති බවත්, පදිංචිය ශ්‍රී ලංකාවේ, ගනේමුල්ල ප්‍රදේශයේ බවත් පවසයි. ඇය සතුව ගුවන්ගමන් බලපත්‍රය හෝ අනන්‍යතාවය තහවුරු කළ හැකි කිසිඳු ලියවිල්ලක් නොමැත. ඇයට ලංකාවේ පදිංචිය පිළිබඳ නිවැරදි මතකයක් නොමැති බවත් තානාපති කාර්යාල නිලධාරීන් දන්වා සිටී. 

ඇය පිළිබඳ කටයුතු සොයාබැලීමට කාර්යාංශයට අවශ්‍ය බැවින් මේ සම්බන්ධයෙන් මහජන සහය බලාපොරොත්තු වේ. විශේෂයෙන් ඉහත සඳහන් සේවක මහත්මිය පිළිබඳව තොරතුරු දන්නා අය වෙතොත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණ හෝ කාර්යාංශයේ විදේශ සබඳතා අංශයේ 0112 864 100 දරන දුරකථන අංකයට දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටී.

විනීතා එම්. ගමගේ


RECOMMEND POSTS