රුපියල් කෝටි හයක වන්දි දීලා



විදේශ ගත ශ්‍රමිකයින් සදහා ලබාදෙන රක්ෂණ වන්දි පහසුකම් යටතේ ඉකුත් මාස හතර තුළදී රුපියල් කෝටි හයක වන්දි මුදල් ප්‍රදානය කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඒ අනුව හදිසි අනතුරු සහ රෝගී තත්වයන් නිසා මරණයට පත්වූ විගමණික ශ්‍රමිකයින් සදහා රුපියල් මිලියන 34.41ක වන්දි මුදලක් ප්‍රදානය කර ඇති අතර විදෙස් රටක සේවය කරමින් සිටියදී හෝ සේවය කරන අතර වාරයේදී අසනීප තත්වයක් මත මෙරටට පැමිණ මාස තුනක් ඇතුළත මිය ගිය අය සදහා මෙම වන්දි මුදල ප්‍රදානය කර තිබෙන බව කාර්යාංශය සදහන් කරයි.

මීට අමතරව විවිධ රෝගාබාධයන්ට  සහ හිංසාවන්ට ලක්වූ පුද්ගලයින් 623 දෙනෙක් සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රක්ෂණය යටතේ රුපියල් මිලියන 25.58ක මුදලක් ලබාදී ඇති බවත්  වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සදහා මෙම මුදල ලබාදී ඇති බවත්  කාර්යංශයේ ජ්‍යෙශ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

පසුගිය වසර දෙකේදී රක්ෂණ වන්දි ලෙස රුපියල් මිලියන 292.88 ක මුදල් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබාදී තිබේ.  2016 වසරේදී හදිසි අනතුරු හා රෝගාබාධ නිසා මරණයට පත්වූ සහ රෝගී තත්වයන් මත ප්‍රතිකාර ලබන විදේශගත ශ්‍රමිකයින් සදහා රුපියල් මිලියන 180.89ක මුදලක් ලබාදී ඇත. 2017 වසරේදී ලබාදී ඇති මුදල රුපියල් මිලියන 111.99කි.

විදේශ ගත ශ්‍රමිකයින්ගේ සුරක්ෂිතභාවය සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංවී විදේශ ගතවන්නැයි විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඉල්ලා සිටින බව ද හෙතෙම කියා සිටියේය.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS