රැකියා සුරක්ෂිත කරගන්න



නිවාඩු මත මව්රටට පැමිණ සිටින විදේශ රැකියාවන්හි නියුතු වූ ශ්‍රී ලාංකිකයින් හට Covid-19 වසංගත තත්ත්වය මත ලොව පුරා පනවා ඇති ගුවන් හා වෙනත් සීමාවන් නිසා පෙරළා තම සේවා ස්ථාන වෙත යාමේ අපහසුතාවයක් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 

මෙම තත්ත්වය මත ඔවුන්ගේ රැකියා අහිමිවීමේ අවදානමක් පවතින බවද ඔවුන් පෙන්වා දෙයි.

එබැවින් නිවාඩු මත මව් රටට පැමිණ සිටින විදේශ රැකියාලාභීන් ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳ තම හාම්පුතා සමඟ තොරතුරු හුවමාරු කරගනිමින්, මෙම පවතින බාධක ඉවත්වීමෙන් පසු තම රැකියා අවස්ථාව භාරගැනීමට පැමිණෙන බව දැනුම් දී තහවුරුවක් ලබාගැනීමට කටයුතු කරන මෙන් කාර්යාංශය විසින් විදේශ රැකියාලාභීන්ගෙන් ඉල්ලා සිටී.

තවද එසේ තම හාම්පුතුන් හා සම්බන්ධ වීමට අපහසු ශ්‍රමිකයන් සිටී නම්, එම රටවල විදේශ තානාපති කාර්යාලයන්හි කම්කරු අංශ වෙත පහත සඳහන් විද්‍යුත් තැපැල් ලිපිනයන් මඟින්, තොරතුරු හුවමාරු කරගන්නා ලෙස ඉල්ලා සිටියි. 

එම තොරතුරු සමඟ ඔබගේ නම, ගමන් බලපත්‍ර අංකය හා හාම්පුතාට ඇමතිය හැකි දුරකථන අංක ඇතුළත් ඔබගේ තොරතුරු දන්වා සිටින මෙන් කාර්යාංශය ඉල්ලා සිටී.

එමෙන්ම 'www.slbfe.lk' කාර්යාංශ වෙබ් අඩවියේ මෙම කාර්යය වෙනුවෙන්ම සකස් කොට ඇති 'Migrant workers on vacation' වෙබ් ද්වාරය (web portal) මඟින් තම තොරතුරු කාර්යාංශය වෙත ලබාදීම ද සිදුකළ හැකි අතර, එමඟින් අවශ්‍ය සහයෝගය ඉල්ලා සිටිය හැක.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS