රාජ්‍ය නායකයෝ දෙන්නෙක් එනවා



මෙරට නිල සංචාරයන් සඳහා විදෙස්  රාජ්‍ය නායකයින් දෙදෙනෙකු ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙලෙස දිවයිනට පැමිණීමට නියමිත රාජ්‍ය නායකයින් වන්නේ සිංගප්පූරු අගමැති ලී සියෑන් ලූ මහතා සහ ඉන්දුනීසියා ජනාධිපති ජෝ විඩෝඩෝ යන මහත්වරුන්ය .

ඒ අනුව ලබන 22 වැනිදා සිංගප්පූරු අගමැතිවරයා නිල සංචරයක් සඳහා දිවයිනට පැමිණෙන අතර ඉන්දුනීසියා ජනාධිපතිවරයා ලබන 25 වැනිදා පැමිණීමට නියමිතය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයක් අනුව මෙම රාජ්‍ය නායකයින් දෙපළම මෙරටට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මැදෙපරදිග ලංකාදීපයට පැවසීය.

ද්විපාර්ශික සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන්  පැමිණෙන දෙරටේ රාජ්‍ය නායකයින් මෙම ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන් සහ රජයේ ඇමතිවරුන් හමුවීමට නියමිතය.

සිංගප්පූරු අගමැතිවරයාගේ මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව සහ  සිංගප්පූරුව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතව ඇත.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS