රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ සංවාදයක්



මැදපෙරදිග,  ආසියා, අප්‍රිකා, ලතින් ඇමෙරිකා හා ඕස්ට්‍රලේෂියා යන කලාපවලට අයත් රටවල් 23ක රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය හා ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ සංවාදය ඉකුත් සදුදා අාරම්භ විණි.

ඊජිප්තුව, පලස්තීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන මැද පෙරදිග රටවල් , ඇෆ්ගනිස්ථානය, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, භූතානය, බ්‍රසීලය, චීනය, කියුබාව, ඉන්දියාව, කෙන්යාව, මැලේසියාව, මාලදිවයින, මොංගෝලියාව, මියන්මාරය, නේපාලය, පාකිස්ථානය, සෙනෙගාලය, සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව, තායිලන්තය, සහ වියට්නාමය යන රටවල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු මෙම සැසිවාරවලට සහභාගී වෙති.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ වැඩසටහනේ කොටසක් ලෙස සති දෙකක් පුරා පැවැත්වෙන මෙම සංවාදය, ‘ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානයක්’ ලෙස හා වෙළෙඳ, ආයෝජන හා සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ වර්ධනයට විශේෂ අවධානයක් යොමු කරමින් මූලික වශයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව අවධානය යොමු කරනු ඇත.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සන්නාම, ව්‍යවසායකත්වය මෙන්ම පර්යේෂණ හා නවෝත්පාදන අංශවල තබා ඇති වැදගත් ඉදිරි පියවරද මෙම සංවාදයේදී විදහා දැක්වෙනු ඇත.

 ශ්‍රී ලංකාවේ ඉසුරුමත් ඉතිහාසය සහ සංස්කෘතිය, ජාත්‍යන්තර දේශපාලන කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දරන ස්ථාවර ඇතුළු එහි විදේශ ප්‍රතිපත්තිය මෙන්ම යහපාලනය, තිරසර සංවර්ධනය, තොරතුරු දැනගැනීමේ අයිතිය, සමාජ මාධ්‍ය හා සයිබර් ආරක්ෂාව යන තේමාත්මක අංශද මෙහිදී විමසා බැලේ. මෙම සංවාදයට ශ්‍රී ලංකාවේ මුල් පෙළේ රාජ්‍ය නිලධාරීන්, විද්වතුන්, විද්‍යාඥයන් හා ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් සහභාගීවනු ඇති අතර මෙම සාකච්ඡාවලින් අනතුරුව දින තුනක ක්ෂේත්‍ර චාරිකාවක්ද සිදු කිරීමට නියමිතය.

සංවාදයට සහභාගීවන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු සැසි වාරය ආරම්භයේදී විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා බැහැදුටුවහ. ඔවුන් පිළිගත් විදේශ කටයුතු අමාත්‍යවරයා ඔවුන් ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය ඵලදායී හා සුඛදායක එකක් වේවායි සුබ පැතීය.

සංවාදය ආරම්භ කරමින් කතා කළ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ශ්‍රී ලංකාව සෑම විටම විවිධ සංස්කෘතීන්, ජාතීන් මෙන්ම විවිධ ආගම්වල සංකලනයක්ව පැවැති බවත්, එහි උපායමාර්ගික භූගෝලීය පිහිටීම අතීතයේ සිටම ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ කැපී පෙනෙන රටක් බවට පත්කිරීමට ඉවහල් වූ බවත් පැවසීය. ශ්‍රී ලංකාවේ විදේශ සබඳතාවල විකාශනය සහ ඉතිහාසය පුරා මෙරට මුහුණදුන් අභියෝග ගෙනහැර දක්වමින්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ දැනුම් මධ්‍යස්ථානයක් බවට පත්වීම සඳහා සුදුසුවී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉදිරි දැක්මක් ඇතිව කටයුතු කරන ලෙසටත් කලාපය තුළ හා ලෝකයේ ඇතිවන අනාගත ප්‍රවණතාවන් හා ඒවාට මුහුණ දෙන ආකාරය සාමූහිකව සොයාබලන ලෙසටත් විදේශ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දිරිමත් කළ රාජ්‍ය අමාත්‍යවරයා ඔවුනොවුන් අතර සහ සිය ශ්‍රී ලාංකික සගයන් සමඟ පවත්වන සාකච්ඡා ඒ සඳහා ඉවහල් කර ගන්නා ලෙස පැවසීය.

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS