රටවල් රැසක් ශ්‍රී ලංකාවට පක්ෂව අදහස් දක්වයි



එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී එහි සාමාජික රටවල් රැසක් ශ්‍රී ලංකාවට පක්ෂව අදහස් දක්වා ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදය 25 වැනිදා ආරම්භ වූ අතර එහිදි රටවල් රැසක් ශ්‍රී ලංකාවට සහාය පළ කිරීම විශේෂයක් විය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන සිය වාර්ෂික වාර්තාව ඉකුත්දා (24) එම කවුන්සිලයට ඉදිරිපත් කළාය.

ක්‍රියාකාරී සංවාදය ආරම්භ වූ අවස්ථාවේදී රටවල් 38ක නියෝජිතයෝ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දැක්වූහ. ඉන් අඩකට වඩා වැඩි රටවල් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පක්ෂපාතී ස්ථාවරයක් අනුගමනය කළේය.

චීනය, පාකිස්තානය, ඉරානය, සිරියාව, රුසියාව යනාදී රටවල නියෝජිතයෝ ශ්‍රී ලංකාවට පක්ෂපාතීව අදහස් දැක්වූහ. ඉන්දු සහ ජපාන නියෝජිතයෝ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මධ්‍යස්ථ ස්ථාවරයක් අනුගමනය කළහ.

ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානියා ඇතුළු බටහිර රටවල් ශ්‍රී ලංකාවට එරෙහි ස්ථාවරයක් අනුගමනය කළේය.

මෙම වාර්තාව සම්බන්ධයෙන් ලබන සතියේ දී විවාද ආරම්භ වන අතර පසුව ඡන්ද විමසීමක් පැවැත්වේ. ඡන්ද විමසීම ද බොහෝ දුරට මේ හා සමාන ප්‍රතිඵලයක් ගනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.

අසල්වැසියන් සහ මිත්‍රයන් යන සාධකය සැලකිල්ලට ගනිමින් සහ මෑතකාලීන සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ ජපානය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළැකී සිටිනු ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.

‘කොවිඞ්-19’ වසංගත හේතුවෙන් මෙවර සැසිවාරය අන්තර්ජාලය සහ විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයක් ඒ අයුරින් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේ ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර දී ඉකුත් 22 වැනිදා ආරම්භ වූ සැසිවාරය ලබන මස 23 වැනිදායින් අවසන් වේ.


RECOMMEND POSTS