රටවල් පහක පුටු හිස්වෙලා



මාස කිහිපයක් සිට ලොව ප්‍රධාන පෙළේ රටවල් පහක් සඳහා ශ්‍රී ලංකා තානාපති ධූර හිස්ව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

මෙලෙස පුරප්පාඩුව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය, බි්‍රතාන්‍යය, රුසියාව බ්‍රසීලය සහ කෙන්යාව යන රටවල ශ්‍රී ලංකා තානපති සහ මහ කොමසාරිස් තනතුරුය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ධූරය මාස 9 ක ආසන්න කාලය තිස්සේ පුරප්පාඩු වී පවතින අතර එම ධූරයේ කටයුතු කළ ප්‍රසාද් කාරියවසම් මහතා ඉකුත් වසරේ අගෝස්තු මාසයේ දී විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ධූරයේ රාජකාරි කටයුතු බාර ගැනීමත් සමඟ එම ශ්‍රී ලංකා තානාපති ධූරය හිස්ව පවතින්නේ යැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස කටයුතු කළ  අමරි විජයවර්ධන මහත්මිය ඉකුත් පෙබරවාරි මාසයේ සිට එම තනතුරින් ඉවත් වූ අතර ඒ අනුව එම ධූරයද මේ වන තුරුත් පුරප්පාඩු වී පවතින බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.රුසියාවේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් කටයුතු වෛද්‍ය සමන් වීරසිංහ මහතා ද ඉකුත් මාර්තු මාසයේ සිට එම ධුර සේවා කාලය අවසන් කළ අතර ඒ හේතුවෙන් එම තනතුර සඳහා මෙතෙක් කිසිවකුත් පත් කර  නොමැත.

මේ අතර බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ධූරයද මාස 8 ක් තිස්සේ පවතින අතර එරට ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ හිටපු යුද හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය මහතා ඉකුත් අගෝස්තු මාසයේදී යළි දිවයිට පැමිණීමත් සමඟ මෙම ධූරය හිස්විණි.

කෙන්යාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස කටයුතු කළ චූල පත්මේන්ද්‍ර දහනායක මහතා ද මේ වන විට එම ධූරයේ කටයුතු නොකරන අතර එබැවින් එම ධූරයද හිස් ව පවතී.

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාල වලට රාජ්‍යතාන්ත්‍රිකයින් පත් කිරීම බලය පවතින්නේ ජනාධිපතිවරයාට බැවින් එම පත්වීම් කළ යුත්තේ ජනාධිපතිවරයා විසින් යැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග කියා සිටී.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS