රජයෙන් වන්දියක් ඉල්ලයි



පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් තම දොළොස් හැවිරිදි දරුවා මරණයට පත්වීම සම්බන්ධයෙන් රජයෙන් වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇමරිකානු ජාතික වෛද්‍යවරයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඇමරිකානු ජාතික වෛද්‍යවරයෙකු වන ඇලෙක්සැන්ඩර් ඇලෝ නැමැති අය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇතුළු නව දෙනකු නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් අප්‍රේල් 21 වැනිදාට යෙදී තිබූ පාස්කු  ඉරුදින කොළඹ පුද්ගලික හෝටලයට එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය තුළින් තම දොළොස් හැවිරිදි දරුවා මරණයට පත්වූ බවය.

එවැනි ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වලක්වා ගැනීමට රජය අවශ්‍ය පියවර නොගැනීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බව පෙන්වා දෙන පෙත්සම්කරු මේ හේතුවෙන් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඊට අමතරව සුදුසු වන්දියක් ලබා දෙන මෙන් ද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )


RECOMMEND POSTS