යුරෝපා සංගමයෙන් සුබපැතුම්



නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ යුරෝපා සංගමයෙන් සුබපැතුම් එක්කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ට්විටර් පණිවිඩයක් මඟින් සුබපැතුම් එක්කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරණයේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව පිළිගන්නා බවත් සාමය සංහිඳියාව, මානව හිමිකම් සහ තිරසර සංවර්ධනය යන කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමඟ අඛණ්ඩව ඉදිරියට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් එක්සත් ජාතින්ගේ සංවිධානය නිකුත් කළ සුබපැතුම් පණිවිඩයේ සඳහන් වෙයි.

එමෙන්ම යුරෝපා සංගමය ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිවේදනයක් නිකුත් කරමින් සුබපැතුම් එක්කර තිබේ.

යුරෝපා සංගමය පෙන්වා දෙන්නේ අංශ ගණනාවක් සම්බන්ධයෙන් නව ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

සුළු ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වුව ද ජනාධිපතිවරණ ඡන්ද විමසීම සාමකාමීව පවත්වා ඇති බවත් ශ්‍රී ලාංකික ජනතාව ඔවුන්ගේ මුලික අයිතිවාසිකම් සහ නිදහස භාවිත කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.

වෙළෙදාම විශේෂ ප්‍රතිපත්ති සහ ආරක්ෂාව යන ආදි අංශ ගණනාවක් ආවරණය වන පරිදි යුරෝපා සංගමය ශ්‍රී ලංකාව සමඟ ඉදිරියට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මේ අතර අමෙරිකානු රජය ද නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබපැතුම් එක්කර තිබේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දි ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ වැඩ කිරීමට අමෙරිකාව සූදානම්ව සිටින බවයි.

ආරක්ෂක අංශවල ප්‍රතිසංස්කරණය, මානව හිමිකම්වලට ගරු කිරීම සහ ප්‍රචණ්ඩත්වය නැවත ඇති නොවීම සඳහා ජනාධිපතිවරයාගේ කැපවීම අපේක්ෂා කරන බව එම නිවේදනයේ සඳහන් වෙයි.

යුක්තිය, ප්‍රතිසංන්ධානය සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා රජය පියවර ගත යුතු බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මේ අතර චීනය, ඉරානය, වියට්නාමය ඇතුළු තවත් විදෙස් රටවල් රැසක් නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබපැතුම් එක්කර තිබේ.

මේ අතර සුළු සිදුවීම් කිහිපයක් වාර්තා වුවත් ජනාධිපතිවරණ ඡන්ද විමසීම සාමකාමීව පැවති බව යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම පවසයි.

ප්‍රචණ්ඩත්වයෙන් තොර නිදහස් මැතිවරණ ක්‍රියාවලිය පරිපාලනය විසින් හොඳින් කළමනාකරණය කර තිබු බව එම දූත පිරිසේ ප්‍රධානි මරිසා මටියාස් මහත්මිය ප්‍රකාශ කර ඇත.

යුරෝපා සංගමයේ මැතිවරණ නිරික්ෂණවල මුලික වාර්තාව ඉදිරිපත් කරමින් ඇය මේ බව ප්‍රකාශ කර තිබේ.

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS