මුදල් වංචා කළ කත අත්අඩංගුවට



නවසීලන්තයේ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචාකළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට පත් මෙම කාන්තාවට විරුද්ධව දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇති අධිකරණවල නඩු 7ක පවතින බව අනාවරණය වී ඇති බවත් ඒ හේතුවෙන් ඇය දිවයිනේ පිළිගත් අපරාධකාරිණියක ලෙසද අධිකරණය විසින් හදුන්වා ඇති බවත් පැවැසේ.

නවසීලන්තයේ රැකියාවක් ලබාදීමට පොරොන්දු වී පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු ගෙන් මෙම සැකකාරිය රු.500,000.00ක මුදලක් ලබාගෙන ඇති අතර, එසේ පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදීම හේතුවෙන් කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත එම තරුණයා කළ පැමිණිල්ලක් අනුව මෙම තැනැත්තිය අත් අඩංගුවට ගෙන ඇත.

කොට්ටාව ප්‍රදේශයේදී අත් අඩංගුවට පත් මෙම සැකකාරිය නම් කිහිපයකින් පෙනී සිට ඇති බවත් ඇයට සහය දැක්වූ තවත් පුද්ගලයෙකු ද ඒ සමඟ අත් අඩංගුවට ගත් බවත් ශ්‍රී  ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාරිය සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර 6ක් හා විදේශ රැකියා සම්බන්ධ වෙනත් ලිපි ලේඛන රාශියක්ද විමර්ශන නිළධාරීන් භාරයට ගත් බව ද හෙතෙම සඳහන් කළේය. 

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS