මැඩගස්කරයේදී ශ්‍රී ලාංකිකයෝ තිදෙනෙක් මරුට



මැඩගස්කරයේදී මෝටර් රථයක් ගඟකට පෙරළීමෙන් සිදුවූ රිය අනතුරකින් එම රථයේ ගමන් ගත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු මියගොස් ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී.

එරට අන්තනානරිවෝ නගරයේ සිට කිලෝමීටර් 90 ක් දුරින් වූ වංගු සහිත පටු මාර්ගයකදී මෙම අනතුර සිදුව ඇතැයිද එම ආරංචි මාර්ග සදහන් කර සිටී.

ගංඟට වැටුණු මෝටර් රථය හා එහි සිටි මියගිය ශ්‍රී ලාංකිකයන්ගේ සිරුරු මැඩගස්කර් පොලීසිය විසින් ගොඩගෙන ඇති අතර මෝටර් රථයේ සිටි අය දියේ ගිලී යාමෙන් සිදුවූ මරණයන් බවද එරට පොලිස් බලධාරීන් විසින් තහවුරැ කර ගෙන ඇත.

පෙරේදා රාත්‍රි 09 ත්, 10 ත් අතර කාලයේදී අනතුර සිදුව ඇති අතර, මියගිය ශ්‍රී ලාංකිකයන්ගේ  සිරුරු මේවන විට ප්‍රදේශයේ රෝහලක තැන්පත් කර ඇති බව සඳහන්.

මේ අතර මැඩගස්කරයේදී මිය ගිය ලාංකිකයින් තිදෙනා පිළිබද සී-ෂෙල්ස් දූපත් හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයද තොරතුරැ විමසා ඇති අතර එම මහ කොමසාරිස් කාර්යාලය මෙම තොරතුරු තහවුරු කළ බව  මෙම සිද්ධිය පිළිබදව කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.

මෝටර් රථයක් ගඟකට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත්,  මෝටර් රථයේ ගමන් කළ ලාංකිකයින් තිදෙනෙකු මරණ ස්වභාවිකව සිදුව ඇති බව මැඩගස්කර්  බලධාරින් තහවුරු කර ගත්තද  ඔවුන්ගේ අන්‍යනතාවය පිළිබද තොරතුරු මෙතෙක් ලැබී නැතැයිද සීෂෙල්ස් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

සීෂෙල්ස් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් මැදිහත් වී  අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS