මන්ත්‍රී නාමල්ට තහංචියක්



රුසියාවේ සංචාරයකින් පසු ඇමෙරිකාව බලා යෑමට උත්සාහ කළ අවස්ථාවේ, තමන්ට ඇමෙරිකාවට යෑමට ඇමෙරිකන් බලධාරීන් අවසර නොදුන් බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි.

නාමල් රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා යෑමට සැරැසී ඇත්තේ රුසියාවේ මොස්කව් නුවර සිටය. නාමල් රාජපක්ෂ මහතා  මොස්කව් නුවරට ගොස් සිටියේ ඉකුත් 18 වැනිදා එරට පැවැති ජනාධිපතිවරණයේ ස්වාධීන නිරීක්ෂකයකු ලෙස කටයුතු කිරීමටය.

නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඔහුගේ ප්‍රකාශකයකු ‘ඉන්දීය එක්ස්ප්‍රෙස්’ පුවත් සේවය සමඟ අදහස් දක්වමින් පවසා ඇත්තේ, ඇමෙරිකාවට පැමිණීමට අවසර නොදෙන බව, ඇමෙරිකා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ඔහුට දැනුම් දුන් බවය.

ඒ වනවිට නාමල් රාජපක්ෂ මහතා එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්, මොස්කව් සිට ඇමෙරිකාවේ හූස්ටන් බලා යෑමට සූදානමින් සිට ඇත.

තහනම පැනැවූයේ ඇයිදැයි යන්න ඇමෙරිකා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පැහැදිලි කර නොමැත. මොස්කව් නුවර ඇමෙරිකා තානාපති කාර්යාලය හෝ කොළඹ ඇමෙරිකන් තානාපති කාර්යාලය හෝ මේ සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි කිරීමක් කර නැති බව ද වාර්තා වේ. ඇමෙරිකාවට යෑමට නාමල් රාජපක්ෂ මහතාට වීසා බලපත්‍ර තිබුණු බව ද ඔහුගේ ප්‍රකාශකයා වැඩි දුරටත් පවසා ඇත.

ට්විටර් ගිණුම ඔස්සේ අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මෙසේ සටහනක් යොදා ඇත.

‘එමිරේට්ස් ගුවන් සමාගම මට දැනුම් දීමක් කළා ඔවුන්ගේ හූස්ටන් බලා යන ගුවන් යානයට ගොඩවෙන්න එපා. ඇමෙරිකාවට පැමිණීමට මට අවසර නොදෙන බව ගුවන් සේවයට ඇමෙරිකන් බලධාරීන් උපදෙස් ලබා දී තිබුණා. ඒ ඇයි කියලා පැහැදිලි කිරීමක් මට ලැබිලා නැහැ. මගේ නම නිසා ඔවුන් මට තහංචියක් දැමුවා වෙන්න බැහැ. රුසියාවේ ජනාධිපතිවරණයේ නිරීක්ෂකයකු ලෙස මම සහභාගීවීම ඊට හේතුවක් වුණා වෙන්න පුළුවන්.’

නාමල් රාජපක්ෂ මහතා ලංකාව බලා ආපසු යෑමට නියමිත බවත්, ලංකාවට පැමිණීමෙන් පසු, සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙනු ඇති බවත් ඔහුගේ ප්‍රකාශකයා වැඩි දුරටත් පවසා ඇත.

(ඉන්දියා එක්ස්ප්‍රෙස්)

 


RECOMMEND POSTS