බෞද්ධ සබඳතා ප්‍රවර්ධනයට මිලියන 15 ක්



ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන බෞද්ධ සබඳතා ප්‍රවර්ධනයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශයට පත් කරන ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක ප්‍රදානය ඉවහල් වනු ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා කොළඹදී ඉකුත් දා පැවැසීය.

එම ප්‍රදානය ක්‍රියාත්මක කරන ආකාරය හා ඊට අදාළ විස්තර මෙරට නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද ගෝපාල් බාග්ලේ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දුන්නේ ය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අතර සාකච්ඡාවක් අරලිය ගහ මන්දිරයේදී ඉකුත් දා (15) පැවැත්විණි.

එහිදි ඉහත කරුණු සාකච්ඡාවට ලක්විය.

දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර අන්තර්ජාලය ඔස්සේ පසුගිය මස 26 වැනිදා පැවැති ද්විපාර්ශවීය සමුළුවෙන් අනතරුව මහ කොමසාරිස්වරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූ පළමු අවස්ථාව මෙය විය.

අග්‍රාමාත්‍යවරුන් අතර පැවති ද්විපාර්ශවික සමුළුවේදී ගන්නා ලද තීරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡාවට ලක්විය.

ද්විපාර්ශවික සමුළුවේදී දෙරට අතර ක්ෂේත්‍ර රැසක පවත්නා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායි ද්විපාර්ශවික සහයෝගීතාව පුළුල් කිරීමට අග්‍රාමාත්‍යවරුන් පළ කළ එකඟතාව අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා මොනවාදැයි මහ කොමසාරිස්වරයා මෙහිදි අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටි අතර වැඩිදුර පියවර සඳහා අග්‍රාමාත්‍යවරයාගේ මඟ පෙන්වීම අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

ද්විපාර්ශවික සමුළුවෙන් අනතුරුව තමා සහ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ආර්ථිකය, ප්‍රවාහනය, බල ශක්තිය, කෘෂි කර්මාන්තය සහ පශු කර්මාන්තය, සංවර්ධන සහයෝගීතාවය, අධ්‍යාපනය සහ කුසලතා වර්ධනය, ජලය සහ සනීපාරක්ෂාව, සෞඛ්‍ය සහ ඖෂධ, සංස්කෘතිය සහ ජනතාව අතර සබඳතා ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ  අමාත්‍යවරුන් සමඟ ඵලදායි සාකච්ඡාවල නිරත වූ බව ද මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දුන්නේ ය.

ජලය සහ සනීපාරක්ෂාව, කෘෂිකර්මාන්තය සහ නිෂ්පාදනය යනාදි ක්ෂේත්‍ර සඳහා ශ්‍රී ලංකාව ලබා දෙන ඉහළ ප්‍රමුඛත්වය කෙරෙහි අවධානය යොමු කරමින්, මහ කොමසාරිස්වරයා එම ක්ෂේත්‍රවලින් ඉන්දියාව මෑතකාලීනව ලබාගත් අත්දැකීම් අග්‍රාමාත්‍යවරයාට පැහැදිලි කළ අතර තවදුරටත් ද්විපාර්ශවීය සහයෝගීතාව වර්ධනය කරගැනීමට ඉන්දියාව සූදානම් බව ද අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන්නේ ය.

මෙරට ඖෂධ ක්ෂේත්‍රය ඇතුළු පර්යේෂණ ක්ෂේත්‍රය තුළ ආයෝජනය කිරීමට ඉන්දියාව බලාපොරොත්තු වන බව මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊට සුබවාදී ප්‍රතිචාරයක් දැක්වීය.

සමීප සමුද්‍රීය අසල්වැසියන් සහ මිතුරන් වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායි වෙළඳ සහ ආයෝජන අවස්ථා සඳහා පහසුකම් සැලසීමේ වැදගත්කම ද මහ කොමසාරිස්වරයා මෙහිදි පෙන්වාදුන්නේ ය.

එසේම අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායි ව්‍යාපෘතී කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා ලබාදෙන මඟපෙන්වීම සඳහා මහ කොමසාරිස්වරයා සිය ස්තූතිය පළ කළේය.

දෙරටේ ජනතාව අතර සබඳතා ප්‍රවර්ධනය කිරීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබාදෙන වැදගත්කම මහ කොමසාරිස්වරයා මෙහිදි සිහිපත් කළේය.


RECOMMEND POSTS