බුද්ධි අංශ ශක්තිමත් කිරීමේ එකඟතාවක්



බුද්ධි තොරතුරු හුවමාරු කරගනිමින් බුද්ධි අංශවල හැකියාවන් වර්ධනය කරගැනීමටත් ත්‍රස්තවාදය එරෙහි සටනේදීත් ඉන්දියාව සෑම විටම ශ්‍රී ලංකාවට සහාය දුන් බවත් ඉදිරියටත් එම සහයෝගය බලාපොරොත්තු වන බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නවදිල්ලි නුවරදී ඊයේ (8) පැවැසීය. 

සිවුදින නිල සංචාරයක් සඳහා පසුගිය සිකුරාදා (7) ඉන්දියාව බලා ගිය අතර නවදිල්ලි නුවර ‘හයිද්‍රාබාද් නිව නිවස්නයේදී’ ඊයේ (8) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමෙන් පසුව අග්‍රාමාත්‍යවරු දෙදෙනා එම ඒකාබද්ධ මාධ්‍ය හමුව පැවැත්වූහ. 

ඉන්දු-ලංකා ආරක්ෂක සහයෝගීතාව කේන්ද්‍ර කරගනිමින් ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වූ බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදි කීය.

එහිදි අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ කීය.

“අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසුව පළමු නිල සංචාරය ලෙස නවදිල්ලියට පැමිණීමට ලැබීම සතුටට කරුණක්. අද උදෑසන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ මම වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූවා. අපගේ සාකච්ඡා, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, අපගේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ  පැවැත්වූ සාකච්ඡාවල කරුණු මත පදනම් වුණා. පසුගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාවේ සාර්ථක නිල සංචාරයක නිරත වුණා.

ඉන්දීය ආණ්ඩුවේ “අසල්වැසියාට ප්‍රමුඛත්වය” ප්‍රතිපත්තියත් එහිදි ඉන්දු-ලංකා සබඳතාවලට මුල්තැන දීමත් සම්බන්ධයෙන් මම අග්‍රාමාත්‍ය මෝදිටත් ඔහුගේ ආණ්ඩුවටත් කෘතඥතාව පළ කරනවා. ආරක්ෂාව, ආර්ථිකය, සංස්කෘතික හා සමාජ අංශ ඇතුළු අංශවලට මුල්තැන දෙමින් අපි කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූවා. එහිදි බොහෝ කරුණු සම්බන්ධයෙන් අප එකඟතාව පළ කළා. ඒ වගේම අපේ සහයෝගීතාව බහුවිධ අංශවලට ව්‍යාප්ත වී තිබෙනවා.
දෙරටේ ආරක්ෂාව උදෙසා සහයෝගීතාව වැඩි කරගැනීම කෙරෙහි අපේ සාකච්ඡා කේන්ද්‍ර වූ බව ද කිව යුතුයි. බුද්ධි තොරතුරු හුවමාරු කරගනිමින් බුද්ධි අංශවල හැකියාවන් වර්ධනය කිරීමට ඉන්දියාව සෑම විටම සහයෝගය දුන්නා. එමෙන්මත්‍රස්තවාදය එරෙහි සටනේදී ඉන්දියාව සෑම විටම අපට සහාය දුන්නා. අප ඉදිරියටත් ඒ සහයෝගය බලාපොරොත්තු වෙනවා.
පසුගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු අප මුහුණ දුන් තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ සංචාරයේදීත් සිහිපත් කළා. අපට අපගේ ජාතික ආරක්ෂක උපායමාර්ග මෙන්ම ඉන්දියාවෙන් ලැබෙන සහාය පිළිබඳව ද නැවත සිතන්න වුණා. එහිදි ඉන්දියාව දෙන සහයෝගය ඉතාම ඉහළයි, ඒ වගේම එය අපේ ඉහළ ඇගයීමට ලක්වෙනවා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලින් පසුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කළා. ඒ වෙනුවෙන් මම ඔහුට ස්තූති කළා. ඔහුගේ සංචාරය අපට විශාල ශක්තියක් වුණා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක ණය මුදලක් ලබාදෙන බවත් ත්‍රස්තවාදයට එරෙහි සටන සඳහා තවත් ඩොලර් මිලියන 50ක ණය මුදලක් ලබාදෙන බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය නොවැම්බර් මාසයේදී ප්‍රකාශ කළා. ඒ වෙනුවෙන් මම ඔහුට ස්තූතිවන්ත වෙනවා.  එහි ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. 

ඉන්දියාවේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. විශේෂයෙන්ම නිවාස ව්‍යාපෘති සහ ප්‍රජා ඉලක්ක කරගත් ව්‍යාපෘති සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. රටේ සෑම තැනම එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නැයිද නිවාස ව්‍යාපෘතිය පුළුල් කරන්නැයි ද මා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ඉල්ලා සිටියා. එය ශ්‍රී ලංකාfවේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන සියලු දෙනාට විශාල ප්‍රතිලාභ ගෙන දෙනවා.

ආර්ථික වශයෙන් වැදගත් කරුණුවලදී ශ්‍රී ලංකාවට සහ ඉන්දියාව එක්ව වැඩ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මමත් අග්‍රාමාත්‍යවරයාත් සාකච්ඡා පැවැත්වූවා. ඉන්දියාව ලෝකයේ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක්. ඉන්දියාව ආර්ථික වශයෙන් ශක්තිමත් අංශවලින් ශ්‍රී ලංකාවට ලබාගත හැකි ප්‍රතිලාභ සම්බන්ධයෙන් ද අපි සාකච්ඡා කළා. සිවිල් සේවයේ හැකියාව සහ ධාරිතාව ගොඩනැගීම සඳහාත් කුසලතා සංවර්ධනය සඳහාත් මා ඉන්දියාවේ සහයෝගය ඉල්ලා සිටියා.

අනාගතයේදීත් ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නැයි මා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා. අප එම සංචාරය බලාපොරොත්තුවෙන්  සිටිනවා. 

ඉන්දියාව අපේ ළඟම අසල්වැසියා. ඒ වගේම දීර්ඝකාලීන මිත්‍රයා. අපේ සබඳතාවලට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. ආගමික වශයෙන් සහ සංස්කෘතික වශයෙන් දෙරට අතර සබඳතා පවතිනවා. එම සබඳතා සහස්‍ර දෙකකට වැඩියි. එය දෙරටේ සබඳතාවලට ශක්තිමත් පදනමක් සපයනවා. 

මෙම නිල සංචාරයේදී මටත් මගේ දූති පිරිසටත් ලබාදුන් ඉහළ සත්කාරකය සහ විශිෂ්ට පිළියෙළ කිරීම්වලටත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාටත් ඉන්දීය රාජ්‍යටත් මා මගේ හෘදයාංගම ස්තූතිය පළ කරනවා”.

ඡායාරූප ඒ.එෆ්.පී.

RECOMMEND POSTS