බස් රථ පෙළකට වෙඩි



මුස්ලිම් ඡන්ද දායකයන් පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථ පෙළකට තුවක්කුකරුවන් පිරිසක් වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ කිරීමට පැය කිහිපයකට පෙර මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

සිදුවීමෙන් කිසිවකුටත් තුවාල සිදුවූ බවක් වාර්තා නොවන  බවත් ප්‍රහාරකයන් ටයර් රථ පුළුස්සමින් බස් රථවල මාර්ගය අවහිර කර තිබූ බවත් බස් රථ ඇතුළු වාහන සියයක් පමණ එම රථ පෙළට අයත් වූ බවත් පොලිසිය සඳහන් කළේය.

“තුවක්කුකරුවන් බස් රථවලට වෙඩි තබා තිබෙනවා. ඒ වගේම බස් රථවලට ගල් ගසා තිබෙනවා. බස් රථ දෙකකට හානි සිදුව තිබෙනවා. කිසිවකුටත් තුවාල සිදු වූ බවක් මෙතෙක් වාර්තා වෙන්නේ නැහැ” යැයි තන්තිරිමලේ ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

වෙරළාසන්න නගරයක් වන පුත්තලෙම් සිට අසල්වැසි මන්නාරම වෙත ගමන් කරමින් සිටි මුස්ලිම් ඡන්දදායකයන් පිරිසකට මෙලෙස ප්‍රහාර එල්ල වී තිබේ. ඔවුන්ගේ ලියාපදිංචි ඡන්දය ඇත්තේ එම ප්‍රදේශයේ යැයි ද පොලිස් නිලධාරියා කීය.

සිද්ධිය වාර්තා වූ සැණින් පොලිසිය එම ස්ථානයට ගමන් කර තිබෙන අතර ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ආරක්ෂිතව ගමන් කිරීමට ඉඩ සැලසීමටත් පොලිසිය පියවර ගෙන තිබිණි.

මේ අතර උතුරු පළාතේ පොලිසිය සහ යුද හමුදාව අතර ඊයේ (16) රාත්‍රියේ මතභේදාත්මක තත්ත්වයක් උද්ගතව තිබිණි. යුද හමුදාව නීති විරෝධී ආකාරයෙන් දමිළ ජනතාව වැඩි වශයෙන් ජීවත් වන උතුරේ මාර්ග බාධක යොදා තිබූ බවට පොලිසිය මැතිවරණ කොමිෂන් සභාවට වාර්තා කර තිබිණි.

ජාතික මැතිවරණයකදී එලෙස මාර්ග බාධක යෙදීම නීතිවිරෝධී බව දැනුම් දීමෙන් අනතුරුව යුද හමුදාව අදාළ මාර්ග බාධක ඉවත් කරගත් බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 

මැතිවරණයට බාධා කළහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කරන බවට ද පොලිසිය හමුදාවේ නිලධාරීන්ට දැනුම් දී ඇති බව ද පොලිස් ආරංචි මාර්ගවලින් කියැවිණි.

ජනාධිපති ධුරය සඳහා සජිත් ප්‍රේමදාස මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර තිබෙන සටනේදී ශ්‍රී ලංකාවේ සුළුතර ජනකොටස් වන දෙමළ හා මුස්ලිම් ප්‍රජාවේ ඡන්ද අතිශයින් තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබේ.

උතුරේ බහුතරය දෙමළ ප්‍රජාව වන අතර එම පළාතේ හමුදා සිටීම දේශීය මාධ්‍යවල ද විමසිල්ලට හේතු වී තිබිණි. එසේ හමුදාව පැමිණීමෙන් සමස්ත ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයට බලපෑමක් එල්ල විය හැකි යැයි ද එය ගෝඨාභය රාජපක්ෂ මහතාට හිතකර වනු ඇතැයි ද කියැවේ.  

ද හින්දු ඇසුරිනි 


RECOMMEND POSTS