බංග්ලාදේශයේදී ලාංකික සිසුවියට අතවර



බංග්ලාදේශයේ චිතගොං ප්‍රදේශයේදී එරට තරුණයෙකු විසින්  උසස් අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යාවක් දූෂණයට ලක්කොට ඇතැයි එරට පළවන “ද ඬේලි ස්ටාර් ” පුවත්පත් වෙබ් අඩවිය සඳහන් කර සිටී.

මෙලෙස දූෂණයට ලක්ව ඇත්තේ චිතගොං හි විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ උපාධියක් හදාරමින් සිටි ලාංකික ශිෂ්‍යාවකි.

අදාළ තරුණිය විසින් බංග්ලාදේශ පොලීසියට කළ පැමිණිල්ලකට අනුව ඇයව දූෂණය කළා යැයි කියන බංග්ලාදේශ තරුණයාද මේවන විට එරට පොලිස් බලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.අත්අඩංගුවට පත් තරුණයා එම්.ඩී අරීෆ් නැමැති 26 හැවිරිදි බංග්ලාදේශ තරුණයෙකි.

දූෂණයට ලක්වූ ලාංකික තරුණිය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ අලෙවි විධායකවරයෙකු වන මෙම තරුණයා දින දහයකට පෙර එනම් ඉකුත් 11 වැනිදා ජංගම දුරකථන මාර්ගයෙන් තමන් සමඟ මිතුරු වූ බවත් පසුව කතා බස් කළ බවය.

එලෙස ඔහු සමඟ දුරකතනය ඔස්සේ කතාබස් කරමින් සිටි තමන්ට ඔහු මුණ ගැසෙන ලෙසට ආරාධනා ලැබූ බවත් , ඒ අනුව තමන් ඉකුත් 18 වැනිදා කුල්ෂි ප්‍රදේශයේ හෝටලයකදී එම බංග්ලාදේශ තරුණයා හමුවූ අතර එහිදී ඔහු විසින් තමාව දූෂණයට ලක් කළ බව එම ලාංකික තරුණිය සිය පැමිණිල්ලෙන් කියා සිටී.

ලාංකික තරුණිය විසින් සිදු කළ එම පැමිණිල්ල අනුව වහා ක්‍රියාත්මක වූ එරට පොලීසිය සෝදිසි මෙහෙයුමකින් පසු සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අතර ස්ත්‍රී දූෂණයක් සිදු කළා යැයි කියන චෝදනාව යටතේ සැකකරුට එරෙහිව එරට අධිකරණය හමුවේ නඩුවක්ද ගොනු කළේය.

සැකකාර තරුණයා අද (23) චිතගොංහි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS