පොදු සමා කාලයක්



නීති විරෝධී ලෙස දැනට ඊශ්‍රාලයේ රැදී සිටින ශ්‍රමිකයන්ට ලංකාවට පැමිණීම සදහා සැප්තැම්බර් පළමුවැනිදා දක්වා පොදු සමා කාලයක් ලබාදී ඇතැයි විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

එම කාලය ඇතුළතදී ලංකාවට නොපැමිණෙන ශ්‍රමිකයින් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි නීතිමය පියවර ගන්නා බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඊශ්‍ර‍ායලයේ රැකියා සඳහා ගිය 500කගෙන් 150ක් පමණ නියමිත කාලයේදී යළි නොපැමිණ නීතිවිරෝධි ලෙස එරට නතර වී සිටීම හේතුවෙන් මෙතෙක් ඊශ්‍රායලයෙන් ලැබුණු කෘෂි ක්ෂේත්‍රෙය් රැකියා අවස්ථාවන් ශ්‍රී ලංකාවට අහිමි වී ඇති බව ද මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේය.

ලබාදී ඇති පොදු කාලයේදී නැවත පැමිණෙන්නන්ට යළි එරටට යාමට අවස්ථාව සළසා දිය හැකි බව ද ඔහු කීවේය.

නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ බව පැවසුවේ ඊශ්‍රාලයේ නීති විරෝධී ලෙස රැදී සිටින ශ්‍රමිකයින්ගේ දෙමාපියන් සහ භාරකරුවන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගෙන්වා දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

රැකියා සඳහා ඊශ්‍රායලයට ගිය ඇතැමුන් නීතිඥවරු මාර්ගයෙන් බොරු ලේඛන ඉදිරිපත් කර දේශපාලන රැකවරණය ඉල්ලීම හේතුවෙන් මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඉතාම නරක නාමයක් ඇතිවන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ඊශ්‍රාලයේ රැකියා සදහා පිටත්ව ගිය අයට නියමිත මාස 6ක කාලය අවසන් කර පැමිණියහොත් නැවත එම රටටම යාමට අවස්ථාව දෙන බවට සහතිකයක් දී තිබෙන බව ද නානායක්කාර මහතා සඳහන් කළේය.

දැනට නීතිවිරෝධිව රැඳී සිටින අය සැප්තැම්බර් පළමුවෙනිදාට පෙර පැමිණියහොත් නඩු පැවරීමක් සිදුනොකරන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා එසේ නොපැමිණෙන්නන්ට එරෙහිව නඩු පවරා නීතිමය පියවර ගැනීමට සිදුවන බව ද කීවේය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශ‍යේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී.පී. වීරසේකර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

(ඩයනා උදයංගනී)

 


RECOMMEND POSTS