ප්‍රතිකාර ලබමින් සිටි කත ගෙන්වා ගැනේ



ඕමානයේ සලාලා නුවර සුල්තාන් කබූස් මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ මැදිහත්වීමෙන් මෙරටට ගෙන්වා ගනු ලැබ ඇත.

බරපතල හෘද රෝග තත්ත්වයක් හේතුවෙන් සුල්තාන් කබූස් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඇනිස්ටා මාලනී නමැති එම කාන්තාව මේ වන විට ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ ප්‍රතිකාර අරඹා ඇත.

ඇය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි නොවී එරට ගෘහ සේවිකාවක ලෙස සේවයට ගොස් ඇති අතර මේ හේතුවෙන් මෙරටට ගෙන්වා ගැනීමේ දී ප්‍රශ්න මතුවී තිබිණි. විශේෂයෙන් ඒ සඳහා යන වියදම් දැරීමට පුද්ගලයෙකු හෝ ආයතනයක් නොවීම නිසා ගෙන්වා ගැනිමට නොහැකි වී තිබිණි.

ඕමානයේ නිල සංචාරයක නිරතවූ නියෝජ්‍ය ඇමැති මනූෂ නානායක්කාර මහතාට සලාලා නුවර පැවති ජංගම සේවයේදී මේ සම්බන්ධයෙන් දැනගන්නට ලැබී ඇති අතර ඇය ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර වහාම ගනු ලැබුවේය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අවශ්‍ය පියවර ගන්නා ලෙස නියොජ්‍ය  අමාත්‍යවරයා උපදෙස් ලබාදුන් අතර වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ ගුවන් මගින් ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළේය.

ඕමානයේ අගනුවර වන මස්කට් අගනුවර සිට කිලෝමීටර දහසක් පමණ දුරින් පිහිටි සලාලා නගරයේ පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයින් හමුවූ නියොජ්‍ය ඇමැතිවරයා එහි සිටින ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය කොන්සියුලර් සේවා මෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවාවන් ලබාදීම සඳහා වූ ජංගම සේවයකටද එක්විය. එරට සිටින ශ්‍රී  ලාංකිකයින් හමුවූ නියෝජ්‍ය ඇමැතිවරයා ඔවුන් සමග සංවාදයකටද එක්විය.

විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි විදේශයන්හි රැකියා කරන ශ්‍රී ලාංකිකයින්ගේ සුව දුක් විමසීමේ අරමුණ ඇතිව තමන් මෙම සංචාරයට එක්වන බවත් ඔවුන්ගේ අවශ්‍යතාවයන් මෙනම් දුෂ්කරතාවයන්ද සොයා බලා ඒවාට අවශ්‍ය විසදුම් ලබාදෙන බව මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

සංවාදයට එක්වූ ශ්‍රී ලාංකිකයින් තම දරුවන්ගේ අධ්‍යාපනය, ඡන්ද අයිතිය, සේවය නිමකර ලංකාවට පැමිණීමේදී තීරු බදු සහන වැනි ප්‍රතිලාභ ගැනත් ඉල්ලීම් ඉදිරිපත් කළේය. වසර පනහකට ආසන්න කාලයක් තිස්සේ සලාලා නුවර ශ්‍රී ලාංකිකයින් ජීවත් වන නමුත් ඔවුන් හමුවීමට පැමිණි පළමු ශ්‍රී ලාංකික ඇමැතිවරයා මනූෂ නානායක්කාර ඇමැතිවරයා බව එහි පැමිණි ශ්‍රී ලාංකිකයෝ පැවසූහ.

සලාලා නුවර ශ්‍රී ලාංකිකයින් තුන් දහසකට වැඩි පිරිසක් ජීවත් වන අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් දරු පවුල් සමග එහි ජීවත් වෙති. ශ්‍රී ලාංකික වෛද්‍යවරු පනහකට ආසන්න සංඛ්‍යාවක්ද සලාලාහි පිහිටි රාජ්‍ය රෝහල්වල සේවය කරති.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS