නෙළුම් කුලුන විවෘත කෙරේ



දකුණු ආසියාවේ උසම කුලුන වන ‘නෙළුම් කුලුන’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පස්වරුවේ විවෘත කෙරුණි.

කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ බේරේ වැව අසබඩ වර්ග මීටර් 30,600 ක භූමියක ඉදිකර තිබෙන නෙළුම් කුලුන මෙරට ගොඩනැගිලි සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ දැවැන්ත පියවරක් ලෙස සැලකේ. නෙළුම් කුලුන ශ්‍රී ලංකාව ලෝකයට ගෙන යන සංකේතයකි.
නෙළුම් කුලුන ලබන සතියේ දී මහජනතාවට විවෘතකිරීමට නියමිතය.

නෙළුම් කුලුන විවෘතකිරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් ඊයේ පැවැත්වුණු අතර කුලුනේ පාදම පරිශ්‍රයේදී එය පැවැත්විණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් කුලුන විවෘත කෙරුණේ ඩිජිටල් තාක්ෂණය භාවිතයෙනි.

ඉන් අනතුරුව නෙළුම් කුලුන විවෘත කිරීම වෙනුවෙන් සමරු මුද්දරයක් ද නිකුත්කෙරිණි. තැපැල් සේවා හා මුස්ලිම් කටයුතු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. මොහොමඞ් මහත්මිය පළමු සමරු මුද්දරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිළිගැන්වූවාය.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ආරක්ෂක ලේකම් ජනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ මහතා උත්සවයේ පිළිගැනීමේ කතාව කළ අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවාන් මහතා උත්සව සභාව ඇමතීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සවය ඇමතුවේ ඉන් අනතුරුවය.

ඉන් අනතුරුව මෙම අවස්ථාව සංකේතවත් කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවාන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමරු තිළිණයක් පිළිගැන්වූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, චීන ජනාධිපතිවරයාට ද සමරු තිළිණයක් පිළිගැන්වීය. නෙළුම් කුලුන ඉදිකිරීමට සම්බන්ධ අනෙකුත් ප්‍රධාන පාර්ශව අතරේද සමරු තිළිණ හුවමාරු කරගැනිණි.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි, චතුර ඇස්. කොඩිකාර

සටහන - හර්ෂණ තුෂාර සිල්වා

නිල උත්සවය අවසන්වීමෙන් පසුව ගිනිකෙළි සංදර්ශනයක් ද පැවැත්විණි. නෙළුම් කුලුන විදුලි බුබුළු යොදමින් විචිත්‍රවත් ලෙස ආලෝක කර තිබිණි.

දකුණු ආසියාවේ උසම විදුලි සංදේශ කුලුන වන නෙළුම් කුලුන බහුකාර්ය කුලුනක් වන අතර උස මීටර 356කි. එහි ඇස්තමේන්තු ගත වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 104.3කි.

නෙළුම් කුලුනේ පාදම කොටස් මහල් හතරකින් සමන්විතය. කුලුනේ මතුපිට මට්ටම බිම් මහල වන අතර සාප්පු සංකීර්ණ, තොරතුරු කවුන්ටර, පිවිසුම් යනාදී සියල්ල ඇත්තේ මෙහි තිබෙන ගොඩනැගිල්ලේය. දෙවැනි මහල ද සාප්පු සංකීර්ණ සඳහා වෙන්කර තිබේ. තෙවැනි මහල කුලුනේ පාදමේ වහලය වුවද එය විවෘත ප්‍රදේශයකි. සංදර්ශන, රැස්වීම් සහ විවිධ ඉසව් පැවැත්වීම සඳහා එම කොටස් වෙන්කර තිබේ.
කුලුනේ මල සහිත කොටස ‘ටවුරු හවුස්’ ලෙස හැඳින්වෙන අතර මීටර 45ක උසකින් සමන්විතය. මෙම කොටස මට්ටම් 9කින් සමන්විතය.

මෙහි පළමු හා දෙවැනි කොටස් රූපවාහිනි හා ගුවන් විදුලි සම්ප්‍රේෂණ කටයුතු සඳහා වෙන්කෙරේ. තෙවැනි හා සිවුවැනි මහල් උත්සව ශාලා සහ භෝජනාගාර සඳහා වෙන්කර තිබේ. තුන්වැනි මට්ටමේ උත්සව ශාලාව අමුත්තන් 250කට පහසුකම් සපයන අතර සිවුවැනි මට්ටමේ උත්සව ශාලාව අමුත්තන් 280කට පහසුකම් සපයයි.

නෙළුම් කුලුනේ කැරැකෙන භෝජන ශාලාව තිබෙන්නේ ‘ටවුර් හවුස්’ හි පස්වැනි මහලේය. අමුත්තන් 200කට එකවර පහසුකම් සැපයිය හැකි මෙම භෝජන ශාලාව එක වටයක් කැරැකීම සඳහා විනාඩි 90ක කාලයක් ගත වේ. මෙහි හයවන මහල රාජ්‍ය අමුත්තන් සඳහා සකස්කරන ලද සුඛෝපභෝගී කාමර 8කින් සමන්විතය.

මෙහි හත්වන මහල කුලුනේ එළිමහන් නැරැඹුම් මහලයි. ජනතාවට මීටර 245ක උසක සිට කොළඹ නගරය සහ අවට ප්‍රදේශ නැරැඹිය මෙම හත්වන මහලේ සිටය. ‘ටවුරු හවුස්’ කොටසේ 8වැනි හා 9වැනි මහල් වෙන්කර ඇත්තේ විදුලි සෝපාන හා වායු සමීකරණ සවිකිරීම ඇතුළු විවිධ සේවාවන් සඳහාය.

කුලුනේ කුඹ ගස කොටස හෙවත් ‘ඇන්ටෙනා මාස්ට්’ කොටස කුලුනේ ප්‍රධාන අංගය වන අතර ඇන්ටෙනා ආවරණයේ මුළු දිග මීටර 90කි.
රූපවාහිනී සේවා 50 කට ගුවන් විදුලි සේවා 35කට සහ විදුලි සංදේශ සේවා 20කට නෙලුම් කුලුන මගින් පහසුකම් සැපයීමට අපේක්ෂිතය.
නෙළුම් කුලුන ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි සන්නිවේදන සංචාරක සහ තාක්‍ෂණික ක්ෂේත්‍රවල නව පරිවර්තනයක් සහ දැවැන්ත පිම්මක් යැයි කුලුන විවෘතකරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

කොළඹ, නෙළුම් කුලුන ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි සන්නිවේන සංචාරක සහ තාක්‍ෂණික ක්ෂේත්‍රවල නව යුගයක් ආරම්භ කරන බවත් එය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්ත දේශීය සහ විදේශීය වශයෙන් තැබූ තවත් වැදගත් පියවරක් යැයි ද ජනාධිපතිවරයා පැවසීය.
ජාතික වස්තුවක් වන නෙළුම් කුලුන ආරක්‍ෂා කරගැනීමට සෑම ශ්‍රී ලාංකිකයකුගේම වගකීම යැයි ඔහු සඳහන් කළේය.

කතානායක කරු ජයසූරිය, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, දයාසිරි ගමගේ, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, තිලංග සුමතිපාල, ලසන්ත අලගියවන්න, බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න, ශ්‍රී ලංකා විදුලි සංදේශ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ෂාමල් ජයතිලක, ශාන්ත බණ්ඩාර මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වසිටියහ.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS