නීතියේ ආධිපත්‍යය සුරකින්න



ශ්‍රී ලංකාව එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ දක්වා ඇති පරිදි සහ ආරක්ෂා කර ඇති පරිදි නීතියේ ආධිපත්‍ය සහ පාර්ලිමේන්තුවේ කාර්යභාරය පවත්වාගෙන යනු ඇතැයි අපේක්ෂා කරන බව පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල පාර්ලිමේන්තු සංසදය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල පාර්ලිමේන්තු සංසදය විධායක කමිටුව රැස්වීම් මේ දිනවල බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවරදී පැවැත්වෙන අතර එහිදි ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමෙන් අනතුරුව අර්බුද විසඳා ගැනීමට හැකිවනු ඇතැයි පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල පාර්ලිමේන්තු සංසදය බලාපොරොත්තුවෙන් සිටී.

පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල පාර්ලිමේන්තු සංසදය නිකුත් කරන ලද අදාළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
“ ශ්‍රී ලංකාව එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ දක්වා ඇති පරිදි සහ ආරක්ෂා කර ඇති පරිදි නීතියේ ආධිපත්‍ය සහ පාර්ලිමේන්තුවේ කාර්යභාරය පවත්වාගෙන යෑමේ වැදගත්කම පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල පාර්ලිමේන්තු සංසදය මෙමඟින් අවධාරණය කර සිටී.  පොදු රාජ්‍ය මණ්ඩලයීය සංවිධානයේ සාමාජික රටවල් 2012 දී අනුමත කරන ලද ප්‍රඥප්තියට අනුව රාජ්‍ය, ආණ්ඩු, දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජය ඇතුළු සියලු පාර්ශව  ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය සහ පිළිවෙත් පවත්වාගෙන යෑමටත් ප්‍රවර්ධනය කිරීමටත් වගකීමෙන් බැඳි සිටින බව සිහිපත් කළ යුතුයි. ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික ආයතනයක් වනුයේ පාර්ලිමේන්තුව බවත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් පවත්වාගෙන යෑමේදී කාර්යක්ෂම සහ පලදායී පාර්ලිමේන්තුවක් අවශ්‍ය බවත් එම ප්‍රඥප්තියේ සඳහන්වනවා. පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යෑමේ අවම සම්මත සහ මාර්ගෝපදේශ ද එහි සඳහන්ව තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලයීය ප්‍රඥප්තියේ මූලධර්ම සහ පුළුල් වටිනාකම් ආරක්ෂා කිරීමේදී එම අවම සම්මත ඉතා වැදගත් බව ද සඳහන් කළ යුතුයි”.

මීට පෙර පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්වරිය ද ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබිණි. 

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS