නිවාස ව්‍යාපෘතියේ තවත් අදියරක්



ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ තවත් අදියරකට මුල්ගල් තැබීම හැටන්හිදි ඉකුත් දා (16) සිදු කෙරුණි.

වැවිලි හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොන්ඩමන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය වැඩබලන මහ කොමසාරිස් විනෝද් කේ. ජේකොබ් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නිවාස ව්‍යාපෘතිය සඳහා මුල්ගල් තැබිණි.

මෙම නිවාස ව්‍යාපෘතිය වතුකර ප්‍රදේශවල සිටින වතු කම්කරුවන් වෙනුවෙන් ඉන්දියාව ඉදි කරන නිවාස 14,000 ව්‍යාපෘතියේ එක් අදියරකි.

නිවාස 50ක් සඳහා මෙහිදි මුල්ගල් තැබුණු අතර ඒ වෙනුවෙන් හැටන්හි වෙල්ලායි ඔය වතුයායේ දී විශේෂ උත්සවයක් ද පැවැත්විණි.

හැටන්හි තොන්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ (ටීවීටීසී) නව ශ්‍රවණාගාරයක් සහ බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදි කිරීම සඳහා ද එදිනම මුල්ගල් තැබිණි.

වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය නවීකරණය කිරීමේ පියවරක් ලෙස මෙම නව ගොඩනැගිල්ල ඉදි කරන අතර ඉන්දීය රජයේ මූල්‍ය ප්‍රදානයක් යටතේ මෙම ගොඩනැගිල්ල ඉදි කෙරේ. මේ සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකා රුපියල් මිලියන 199ක ප්‍රදානයක් කර ඇත.

ඊට අමතරව නව පාඨමාලා සඳහා යන්ත්‍රෝපකරණ සහ මෙවලම් සැපයීම සහ මධ්‍යස්ථානය සඳහා ගෘහභාණ්ඩ සහ වාහන සැපයීමද මෙහිදි සිදු කෙරේ.

මෙම ව්‍යාපෘතිය නිමවීමත් සමඟ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් විශාල පිරිසක් රැකියා වෙළඳපොළට සරිලන නිපුණතා සහිත පුහුණු ශ්‍රමිකයන් ලෙස පුහුණු කිරීමට අවස්ථාව සැලසෙනු  ඇතැයි ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අපේක්ෂා කරයි.

මෙම ව්‍යාපෘතිය ඉන්දීය රජය, ශ්‍රී ලංකා රජය සමඟ කරන ජනතා කේන්ද්‍රීය සංවර්ධන සහයෝගීතාව ඉදිරියටත් පවත්වාගෙන යෑම වෙනුවෙන් කරන ලද ව්‍යාපෘතියක් යැයි ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

ඉන්දියාව සංවර්ධන ආධාර වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5ක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දී ඇතැයි ද ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 560ක් නැවත නොගෙවිය යුතු ප්‍රදාන යැයි ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය තවදුරටත් පවසයි. 


RECOMMEND POSTS