නව සබඳතා



ටියුනීසියාව හා ශ්‍රී ලංකාව අතර  මේ වන විට අක්‍රීය මට්ටමේ පවතින වෙළෙඳ සබඳතා වඩා ඵලදායි ලෙස නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ,ඒ සඳහා  ටියුනීසියානු ආයොජකයින්ට මෙරටට පැමිණ තම ආයෝජන කටයුතු ආරම්භ කිරීමට ආරාධනා කරන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්කර ඇති ටියුනීසියානු තානාපති නෙජ්මිඩයින් ලකාල් මහතා, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී පසුගියදා හමුවු අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

ටියුනීසියාව හා ශ්‍රී ලංකාව අතර වෙළෙඳ සබදතා ඉහළ නැංවීම පිළිබදව සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව සංවිධානය කර තිබුණි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා,

ශ්‍රී ලංකාව හා ටියුනීසියාව අතර වෙළෙඳ සබඳතා නැවත වඩාත් ක්‍රමවත්ව ආරම්භ කිරීම දෙරටටම වාසිදායකයි. මෙතෙක් කල් ටියුනීසියාව හා ලංකාව අතර  වෙළද ගනුදෙනු ඉතා මන්දගාමීවයි සිදුවෙලා තියෙන්නේ  මෙම තත්ත්වය වෙනස් කරන්න අවශ්‍යයි.දෙරටටම වාසිදායකවන පරිදි අපි මෙම වෙළෙඳ ගනුදෙනු   ශක්තිමත් කළ යුතුයි. මෙහිදී අපේ රටේ "තේ" වලට ටියුනීසියාවෙ හොඳ වෙළෙඳපලක්  ඇතිකරගන්න වගේම ටියුනීසියාවෙ ඇඟලුම් හා ඉලෙක්ට්‍රොනික උපකරණ වලට ලංකාවෙ වෙළෙඳපො‍ළේ හොඳ අවස්ථාවක් ලබාගන්නත් පුලුවන්. ජි.එස්.පී. ( GSP) බදු සහනයත් මේ වන විට  ලැබී තිබෙන නිසා මේ තත්ත්වය අපේ රටට වඩා වාසිසහගතයි. ටියුනීසියානු  ආයෝජකයින්ට මෙරටට පැමිණ ආයෝජනය කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ සහයෝගයත් විෂයභාර අමත්‍යවරයා ලෙස මාගේ උපරිම සහයෝගයත්  ලබාදෙනවා.

 ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්කර ඇති ටියුනීසියානු තානාපති නෙජ්මිඩයින් ලකාල් මහතා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ, ටියුනීසියාව යුරෝපයට ඉතා සමීප රටක් බැවින් දෙරට අතර වෙළඳාම දියුණු කිරීමෙන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන වලට යුරෝපීය වෙළෙඳපො‍ළට පිවිසීමට පහසුවන අතරම ටියුනීසියානු නිෂ්පාදන දකුණු ආසියානු රටවලට යොමු කිරීමේ හැකියාවද වඩා වැඩිවන බවය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS