නව රජය සමඟ සමීපව කටයුතු කරනවා



නව ආණ්ඩුව සමඟ සමීපව කටයුතු කිරීමට සූදානම් බව මෙරට ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ද්විපාර්ශවීය සබඳතා අලුත් කරගනිමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ නව අමාත්‍යවරුන් සමඟ සමීපව කටයුතු කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය බලාපොරොත්තු වන බව ද එම ට්විටර් පණිවුඩයේ දැක්විණි.

‘කොවිඩ්-19’ වයිරස වසංගතයෙන් එල්ල වූ අභියෝග මධ්‍යයේ වුවද සාමකාමී අයුරින් සහ සාර්ථකව මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සුබපැතුම් එක් කරමින් ඇමෙරිකා එක්සත් ජනපද රජය වෙනුවෙන් කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉකුත් දා නිවේදනයක් ද නිකුත් කර තිබිණි.

ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනිය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ ද දැක්විණි.

‘‘සෞභාග්‍යය, නීතියේ පාලනය සහ බෙදාහදාගත් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් කෙරෙහි අවධානය යොමු කරන්නාවූ ද්වීපාර්ශවීය සබඳතාවක් අලුත් කරගැනීම සඳහා නව අමාත්‍යවරුන් සහ අග්‍රාමාත්‍යතුමා සමඟ සමීපව වැඩි කිරීමට එක්සත් ජනපදය උනන්දුවෙන් යුතුව බලාපොරොත්තු වේ’’.

එම ටිව්ටර් පණිවුඩය භාෂා ත්‍රිත්වයෙන් ම පළ කර තිබීම ද විශේෂත්වයකි.

මේ අතර මැතිවරණයෙන් ලද විශිෂ්ට ජයග්‍රහණයටත් අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමටත් සුබ පැතුම් එක් කරමින් රාජ්‍ය නායකයන් කිහිපදෙනකුම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කර තිබිණි.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දුරකතන ඇමතුමක් දෙමින් සුබ පතා තිබූ අතර චීන ජනාධිපති ෂී ජින්පින්ග් සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ යන මහත්වන්රු ද අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් එක් කර තිබිණි. ඒ සියල්ලටම ස්තූතිය පළ කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩ නිකුත් කර තිබිණි.

‘‘ජනාධිපති ෂී ජින්පින්ගෙන් සහ චීන කොමියුනිස්ට් පක්ෂයෙන් ලද සුබ පැතුම්වලට ස්තූතියි. ශ්‍රී ලංකාවේ සංවර්ධනයට චීනයෙන් ලද සහයෝගය දශක ගණනක් පැරැණි යි. අපි අපේ සහයෝගීතාව වැඩිදියුණු කරගනිද්දි, අපේ දීර්ඝකාලීන මිත්‍රත්තවය තවදුරටත් වර්ධනය වනු ඇතැයි මට හොඳින්ම විශ්වාස’’ යැයි චීන ජනාධිපතිවරයාට ස්තූතිය පළ කරමින් නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්විණි.

ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේට ස්තූතිය පළ කරමින් නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ දැක්විණි.

‘‘ඔබේ (ජපාන අග්‍රාමාත්‍යවරයා) සුබ පැතුම්වලට ස්තූතියි. මා ජනාධිපති ධුරය දරන සමයේදීත් මා ජපානයේ සංචාරය කළ අවස්ථාවේදීත් ඔබ ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදීත් දෙරටේ සබඳතා තවත් ඉදිරි පියවරක් තැබුවා. අපේ සහයෝගීතව අඛණ්ඩව පවත්වාගෙන යෑමට හැකිවනු ඇතැයි ද අපේ දීර්ඝකාලීන සබඳතාව තවදුරටත් වර්ධනය කරගැනීමට හැකිවනු ඇතැයි ද මා බලාපොරොත්තු තබනවා’’.

‘‘ඔබේ (පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට) දුරකතන ඇමතුමට සහ උණුසුම් සුබ පැතුම්වලට ස්තූතියි. අප දෙරටේ, ඉහළ පෙළේ අන්‍යෝන්‍ය සංචාර, දෙරටේ මිත්‍රශීලී ද්විපාර්ශවීය සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට මා බලාපොරොත්තු වෙනවා’’ යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පළ කරමින් නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්විණි.

 හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS