නව මහකොමසාරිස් හමුවෙලා



හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වන ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඉන්දියාවේ නව මහකොමසාරිස්වරයා ලෙස ද, මෙරට ප්‍රමුඛ පෙළේ දේශපාලන විද්‍යාව පිළිබඳ විද්වතකු වන ආචාර්ය දයාන් ජයතිලක මහතා රුසියාවේ ශ්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස ද  පත් කරනු ලැබ සිටිති.

මෙම පත් කිරීම් සිදු කරනු ලැබ ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.

මීට අමතරව තවත් රටවල් අටක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත් කරනු ලැබ සිටිති.

ඒ අනුව නොර්වේ රාජ්‍යයේ ශ්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස මහාචාර්ය අරූෂා කුරේ මහත්මිය ද, බ්‍රසීලයේ ශ්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස එම්.එම්. ජෆීර් මහතා ද,කැනඩාවේ ශ්‍රී ලංකා නව මහකොමසාරිස්වරයා ලෙස එම්.ඒ.කේ. ගිරිහාගම මහතා ද, පෝලන්තයේ ශ්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස සී.ඒ.එච්.එම්. විජේරත්න මහතා ද,ස්වීඩනයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එස්.එස්. ගනේගමආරච්චි මහතා ද,වියට්නාමයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එස්.එස්. ප්‍රේමවර්ධන මහත්මිය ද,දකුණු අප්‍රිකාවේ නව මහකොමසාරිස්වරයා ලෙස අනුරුද්ධ කුමාර මල්ලිමාරචිච මහතා ද,
පකිස්ථානයේ නව මහකොමසාරිස්වරයා ලෙස නූර්දීන් මොහොමඞ් ෂහීඞ් මහතා වෙති.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ රටවල් 10 ක් සඳහා පත්කෙරුණු නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති මෛත්‍රීපාල මහතා හමුවූ බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටී.

අලුතින් පත් කළ එම තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් හමුවේ අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව නියෝජනය කරන රාජ්‍ය දූතයින් ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්ති සහ දැක්ම පිළිබඳ දැඩි ලෙස කැපවිය යුතු බව යැයි ජනාධිපති මාද්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරු අමතා ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රාජ්‍ය දූත ප්‍රධානින්ගේ ප්‍රධාන සහ පළමු වගකීම වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය විදේශයන්හි ප්‍රවර්ධනය කිරීම සහ තමන් සිටින රටවලින් උපරිම සහයෝගය මෙරටට ලබා ගැනිමට කටයුතු කිරීම බවයි.

සමාජ මධ්‍ය හා වෙනත් ඇතැම් මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමට යම් යම් පිරිස් ක්‍රියාකරද්දී ශ්‍රී ලංකාව පිළිබඳ නිවැරදි ධනාත්මක ප්‍රතිරූපය පෙන්වීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් යන මහත්වරන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS