නඩුව නිශ්ප්‍රභ කෙරේ



සන්ඬේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා 2009 වසරේ ජනවාරි 08 වැනිදා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු යැයි කියමින් වික්‍රමතුංග මහතාගේ දියණිය ඇමෙරිකාවේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය හමුවේ ගොනු කළ නඩුව විභාගයට ගැනීමට නෛතික අධිකරණ බලයක් නැතැයි කියමින් එම  නඩුව අධිකරණය විසින් නිෂ්ප්‍රභ කරනු ලැබ ඇත.

ඉකුත් 17 වැනිදා මෙම නඩුව කැලිෆෝනියා දිසා විනිසුරු ගැරී ක්ලෝස්නර් හමුවේ කැඳවූ අතර එම අවස්ථාවේදී මෙම නඩුව නිෂ්ප්‍රභ කරනු ලැබ ඇත.

පැමිණිලේලේ වගඋත්තරකරු ලෙස නම් කර තිබෙන ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ ඝාතන චෝදනාව එල්ල වන අවස්ථාවේ ඔහු එවකට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් කටයුතු කිරීම හේතුවෙන් ඔහුට විදේශික රාජ්‍ය නිලධාරියෙකුට හිමි විනිර්මුක්තිය හිමිවීම සැලකිල්ලට ගනිමින් කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය මෙම පැමිණිල්ල  නිෂ්ප්‍රභ කර ඇත.

එැබැවින් පෙත්සම්කාර පාර්ශවය පෙන්වා දෙන උක්ත කරුණ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට අධිකරණය බලයක් නොමැති බවද කැලිෆෝනියා දිසා විනිසුරුවරයා තම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර ඇත.

ඝාතන, මනුශ්‍යත්වයට එරෙහි අපරාධ සහ වදහිංසා යන චෝදනා යටතේ  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ලසන්ත වික්ර මතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මෙනවිය විසින් මෙම නඩුව ඉකුත් අප්‍රේල් 04 වැනිදා කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය හමුවේ ගොනු කර ලැබ තිබිණි.

කොළඹ රත්මලාන අත්තඩිය ප්‍රදේශයේ අධිආරක්ෂිත කලාපයේදී සිය පියා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම , සහාය දීම සහ හෝ අනුබල දීම සම්බන්ධයෙන් ඒ අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග දීමේ වගකීමෙන් බැදෙන බව පෙත්සම්කාර අහිම්සා වික්‍රමතුංග මෙනවිය කැලිෆෝනියා දිසා අධිකරණය හමුවේ ගොනු කළ සිය පැමිණිල්ලේ  සඳහන් කර තිබිණි.

එසේම ඝාතනය සිදුවූ කාලය තුළ එවකට බලයේ පැවතියාවූ පාලනය විවේචනය කළ මාධ්‍යවේදීන් ක්‍රමානුකූලය වධ හිංසාවට ලක් කර ඇති බවද ඇය සිය පැමිණිල්ලෙන් පෙන්වා දුන්නාය.

කෙසේ වෙතත් මෙම නඩුව ගොනු කළ මුල්ම අවස්ථාවේදී අදාල චෝදනා සම්බන්ධයෙන් සති 3 ක් ඇතුළත පිළිතුරු ලබාදීම , ප්‍රතික්ෂේප කිරීම සහ නඩුව ඉවත් කර ගැනීමට මෝසමක් ඉදිරිපත් කිරීමේ හැකියාව ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවතිණි.

ඒ අනුව කැලිෆෝනියා අධිකරණය හමුවේ පැවති එම නඩු විභාගය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතීඥවරුන් මෙම නඩුව විභාග නොකර ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා මෝසමක්ද ඉදිරිපත් කළේය.

එම මෝසමෙන් පෙන්වා දී තිබුනේ ඉහතී කී චෝදනා වලට අදාළ සියලු සිදුවීම් හට ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ වන බවත්, වගඋත්තරකාර රාජපක්ෂ මහතා මේ වන විට ශ්‍රී ලංකාවේ වාසය කරන අතර පැමිණිලිකාරිය  විදේශයක වාසය කරන බැවින් මේ නඩුකරය ඇමෙරිකාවේ පවත්වා ගෙන යාමට අධිකරණ බලයක් නොමැති බවය.

එබැවින් නඩුව සළකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා එම මෝසම මඟින් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ඒ අනුව සියලු කරුණු සැලකිල්ලට ගත් කැලිෆෝනියා දිසා විනිසුරු ගැරී ක්ලෝස්නර්  ප්‍රකාශයට පත් කළ තීන්දුවේ සඳහන් වනුයේ පැමිණිලිකාර පාර්ශ්වය විසින් චෝදනා ගොනු කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නිල මට්ටමින් ක්‍රියාත්මක කළ ක්‍රියාකලාපයකට එරෙහිව බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ලසන්ත වික්‍රමතුංග මහතා සම්බන්ධයෙන් සෘජූ පියවරක් ගත් බවට චෝදනා ඉදිරිපත් කර නොමැති බවත් චෝදනාව පදනම් වී ඇත්තේ ආරක්ෂක ලේකම්වරයා ලෙස ඔහු ඉටුකළ භූමිකාව සම්බන්ධයෙන් වන බවත් අධිකරණ තීන්දුවෙන් පෙන්වා දී තිබේ.
එය විදේශීය රාජ්‍ය  නිලධාරියෙකුගේ නිල රාජකාරි කටයුත්තක් වන බැවින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ස්ථාපිත ප්‍රතිපත්තිය වන්නේ එවැනි අවස්ථාවකදී ඔහුට විදේශික රාජ්‍ය නිලධාරියෙකුට හිමි විනිර්මුක්තිය හිමිවන බව පිළිගැනීම බව තීන්දුවේ සඳහන්ය.

එම නෛතික හේතුව නිසා ඉදිරිපත් වී ඇති චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගය ඉදිරියට රැගෙන යාමට මෙම අධිකරණයට අධිකරණමය බලයක් නොපැවරෙන බැවින් නඩුව නිෂ්ප්‍රභ කරන බව අධිකරණය සඳහන් කර ඇත.

තිළිණි ද සිල්වා


RECOMMEND POSTS