ධර්ම ප්‍රචාරයට ඩුබායි ගිහින් අත්අඩංගුවේ



ධර්ම ප්‍රචාරය සඳහා ඩුබායි රටට යන බව පවසමින් කාන්තාවන් රැකියා සඳහා මැදපෙරදිගට ගෙන ගිය චීවරධාරියකු ඇතුළු තවත් දෙදෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ සැකකටයුතු ලෙස හැසිරුණු කතුන් දස දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම මහා පරිමාණ ජාවාරම හෙලි වී ඇත.

තමන් ගෘහ සේවිකා රැකියාවලට යන බවත් ඩුබායි රටට කැදවා ගෙන යන්නේ හිමිනමක් විසින් බවත් අදාල කාන්තාවන් පවසා ඇති අතර චීවරධාරියාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇත්තේ, ඔවුන් මෙම කාන්තාවන් දසදෙනා ඩුබායිහි ධර්ම දේශනයකට සහභාගි කරවාගෙන එතැනින් නේපාල රටේ වන්දනා චාරිකාවක රැගෙන යන බවය.

මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරුවන් වශයෙන් චීරවධාරියෙකු සහ බොරැල්ල සහස්‍ර පුර පදිංචිකරුවෙකු හා වැල්ලම්පිටිය මීතොටමුල්ල පදිංචිකරුවෙකු අත් අඩංගුවට ගෙන ඇත.

මොවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හෙළිවුයේ මීට පෙරද සිව් වතාවක් මෙලෙස කාන්තාවන් ඩුබායි ගෘහසේවයට රැගෙන ගොස් ඇති බවයි. මෙලෙස ව්‍යාජ තොරතුරු සපයමින් කතුන් විදේශ ගතකර ඇත්තේ වයස අවුරුදු 5ට අඩු දරුවන් සිටින බැවින් එවැනි කාන්තාවන්ට රැකියාවක් සඳහා විදේශ ගතවීමට නොහැකි හෙයින්  බවද සැකකරුවන් පවසා ඇත.

මෙම කාන්තාවන් විදේශ ගත වීමට පැමිණ ඇත්තේ වන්දනා ගමනකට සුදුසු වන පරිදි සුදුවතින් සැරසීගෙනය. 

සැකකාර හිමිනම විසින් මෙම කාන්තාවන්ට රු.5000 බැගින් මුදල් ලබාදී තිබෙන අතර, මේ සඳහා සහය වූ අනෙක් සැකකරුවන් දෙදෙනාට රු.10000 බැගින් ලබාදී තිබේ. කාන්තාවන් විදෙස් ගතවී සති දෙකකට පසු පවුලේ ඥාතීන්ට රු.75000 බැගින් ගෙවීමටද පොරොන්දු වී ඇත. මෙම කාන්තාවන්ට රු.40000ක බැගින් මාසික වැටුපක්ද ලබාදෙන බව පවසා තිබේ.

මෙම ජාවාරමට සම්බන්ධවූ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පරීක්ෂණ කටයුතු මෙහෙයවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රිමාන්ඞ් බාරයට පත් කර ඇත. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ, මෙවැනි ජාවාරම්කරුවන්ට එරෙහිව තරාතිරම නොලබා නීතිවිරෝධී මිනිස් ජාවාරමට එරෙහිව කාර්යාංශ පනත අනුව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි. මෙවැනි වංචනික පුද්ගලයින්ට නොරැවටෙන ලෙසත්, කාර්යාංශයේ ලියාපදිංචියකින් තොරව විදේශ රැකියාව සඳහා ගොස් විවිධ කරදරවලට ලක්විය හැකි බවත් අමාත්‍යතුමිය සඳහන් කළාය.

එසේ වුවහොත් ඒ සඳහා කාර්යාංශයට මැදිහත් විය නොහැකි බවද අමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කළාය. බෞද්ධ භික්ෂුවක ලෙස මෙම ස්වාමීන් වහන්සේ සිදුකර ඇති ක්‍රියාව කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් එතුළින් ශාසනයට පවා දැඩි හානියක් සිදුවන බවයි. එසේම මෙම මහා පරිමාණ ජාවාරම අනාවරණය කරගැනීමට සමත්වූ සියළුම නිළධාරීන්ට අමාත්‍යතුමය සිය ස්තූතියද පළකළාය.

මෙම වැටලීම සඳහා මෙම වැටලීම සඳහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නීතීඥ කීර්ති මුතුකුමාරණ මහතාගේ මඟපෙන්වීම මත විමර්ශන ඒකකයේ කළමණාකරු ප්‍රධාන පොලිස් පරීක්ෂක සී.ජී.වෙලගෙදර, නිති ක්‍රියාත්මක කිරීමේ නිළධාරී උප පොලිස් පරීක්ෂක එච්.එම්.කුමාරසිංහ, උප පොලිස් පරීක්ෂක හසින්තක ලියනගේ, පොලිස් සැරයන් එච්.ඒ.පී.රවින්ද්‍ර නිළධාරීන් හා කාර්යාංශ නිළධාරී අමිල පෙරේරා යන අය එක්වූහ. 

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS