දඩ නොගෙවා මව් රටට යන්න එන්න



සෞදි අරාබියේ මේ වන විට ලබා දී ඇති පොදු සමා කාලයේ දී කිසිදු ගෙවීමකින් තොරව මව් රටට පැමිණීම සඳහා ඉක්මණින්ම රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෝ ජෙඩා හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය වෙත පැමිණ අවශ්‍ය ලියකියවිලි සකස් කර ගන්නැයි එරට නීති විරෝධීව රැඳී සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් ගෙන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉල්ලීමක් කරයි.

තම ඥාතීන් මෙවැනි නීත්‍යානුකූල නොවන අයුරින් සෞදිය තුල රැඳී සිටින්නේ නම් ඔවුන් මේ පිළිබඳව දැනුවත් කරන ලෙසත් කාර්යාංශය මෙරට වෙසෙන එවැන්නන් ගේ පවුල්වලින් ද ඉල්ලා සිටී.

සෞදියේ නීති විරෝධීව රැඳී සිටින විදේශීය ශ්‍රමිකයින් වෙනුවෙන් පොදු සමා කාලයක් ලබා දීමට සෞදි රජය තීරණය කර ඇති අතර එය මේ මස 29 වන දිනෙන් ආරම්භ වී මාස තුනක කාලයක් (දින 90) දක්වා ලබා දී ඇත.

මෙම පොදු සමාකාලය ලබා දී ඇත්තේ සෞදි අරාබි රාජ්‍යය තුල නේවාසික වීසා නොමැතිව හා දේශ සීමා නීති උල්ලංඝනය කරමින් පැමිණි එරටේ නීති විරෝධීව රැඳී සිටින්නන්ට හා නීති විරෝධීව රැඳී සිටිමින් එරට සේවය කරන පුද්ගලයින් සඳහාය.

ඒ අනුව මෙම පොදු සමා කාලය ප්‍රයෝජනයට ගනිමින් සෞදියේ ආගමන විගමන නීති කම්කරු නීති සහ දේශ සීමා නීති අනුව එරටින් පිටවන විදෙස් පුරවැසියන් හට නීත්‍යාණුකූලව නැවත පැමිනීමට බාධාවක් නෙමැති බව ද සෞදි රජය දන්වා සිටී.

සෞදි නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මොහොමඞ් බින් අබ්දුල් අසිස් මහතා විසින් මෙලෙස ජාතික ව්‍යාපාරයක් ලෙස දියත් කෙරෙන වැඩසටහනක් ලෙස පොදු සමා කාලයක් ලබා දීමට තීරණය කර ඇති අතර එය සෞදියේ සලමාන් බින් අබ්දුල් අසිස් රජු විසින් අනුමත කර තිබේ.

එසේම මෙම පොදු සමාකාලයෙන් පසුව තවදුරටත් එරට නීති විරෝධීව රැඳී සිටින පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් සෞදි රජය දන්වා සිටින බව සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල වැඩිදුරටත් සඳහන් කර තිබේ.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS