ඩොලර් මිලියන 1.3 ක පරිත්‍යාගයක්



ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ සේවකයන් ආරක්ෂා කරගැනීම සඳහාත් කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හා ආසාදනය වීම පාලනය කිරීම සඳහාත් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.3ක (රුපියල් කෝටි 24කට අධික මුදලක්) මුදලක් පරිත්‍යාග කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනය හරහා මෙම මුදල මෙරටට හිමි වේ.

ආසාදිතයන් සොයාගැනීම හා සෝදිසි කිරීම්, ප්‍රතිචාර දැක්වීම හා සූදානම් වීම සඳහා තාක්ෂණික විශේෂඥ සහාය, අවදානම් සන්නිවේදනය, ආසාදනය වීම වැළැක්වීම සහ වයිරසය ව්‍යාප්ත වීම පාලනය ඇතුළු කටයුතු සඳහා මෙම මූල්‍ය ප්‍රදානය මෙරටට ලැබේ.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ‘කොවිඩ්-19’ පරීක්ෂණ කිරීම වැඩි කිරීම සහ පුළුල් කිරීම සඳහා විද්‍යාගාර පද්ධති සූදානම් කිරීමට ද ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මෙරටට සහාය හිමි වේ. ආධාර ලබාදීමේදී ප්‍රමුඛත්වය දිය යුතු අංශ මොනවාදැයි හඳුනාගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද රජය, ශ්‍රී ලංකා රජය සහ අනෙකුත් පාර්ශව සමඟ සමීපව කටයුතු කරන බව ද කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS