ජලභීතිකාවෙන් මැරිලා



නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී, දඩාවතේ යන බලු පැටවකු සපා කා තුවාල ලැබූ ප්‍රංශ ජාතික දස හැවිරිදි පිරිමි දරුවකු ජලභීතිකා රෝගය වැළැඳීමෙන් මියගොස් ඇතැයි ප්‍රංශ පුවත් සේවා වාර්තා කරයි.

නැගෙනහිර ප්‍රංශයේ රෝන් නගරයේ පදිංචි මෙම දරුවා සහ ඔවුන්ගේ පවුලේ අය ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණ ඇත්තේ පසුගිය අගෝස්තු මාසයේ යැයි පැවැසෙයි.

දරුවා දඩාවතේ බලු පැටවාගේ සපා කෑමට ලක් වී ඇත්තේ දික්වැල්ල වෙරළ තීරයේදීය. ඒ, දරුවා එම බලු පැටවා සුරතල් කිරීමට යෑමේදීය.
දරුවාගේ පවුලේ අය ඒ ගැන වැඩි සැලකිල්ලක් දක්වා නැති අතර, ඔවුන් ආපසු ප්‍රංශය බලා පිටව ගොස් තිබේ.

ජලභීතිකා රෝගය උත්සන්න වී ඇත්තේ පසුගිය ඔක්තෝබර් මුලදීය. දරුවා කඩිනමින් ලියොන්හි රෝහලකට ඇතුළත් කෙරුණු නමුත්, ඒ වනවිටත් ජලභීතිකා රෝගය හේතුවෙන් දරුවාගේ ස්නායු පද්ධතියට සහ මොළයට බලපෑම් එල්ල වී තිබුණැයි වෛද්‍යවරු පවසති.
දරුවා මියගොස් ඇත්තේ පසුගිය ඔක්තෝබර් 16 වැනිදාය.

ඒ අනුව, ආරක්ෂක පියවරක් ලෙස දරුවාගේ පවුලේ සැමටත්, පාසලේ ගුරුවරුන් සහ සිසුන්ටත් ජලභීතිකා එන්නත් විදීමට ප්‍රංශ සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළ බව ද ප්‍රංශ පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබේ

(ප්‍රංශ පුවත් ඇසුරිනි)

 


RECOMMEND POSTS