කොන්සියුලර් කාර්යාලයක් මාතර



කොළඹට පැමිණීමෙන් තොරව මහජනතාවට කොන්සියුලර් සේවාවන් ලබාදීමේ කටයුත්තෙහි තවත් එක් පියවරක් තබමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සිය දෙවැනි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය සිකුරාදා ( 15) පෙරවරු 10.30ට මාතර නගරයේදී නිල වශයෙන් විවෘත කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

දකුණු පළාත නියෝජනය කරන අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් යුතුව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර  යන මහත්වරුන් අතින් එම කාර්යාලය විවෘත කෙරේ.

එතෙරදී භාවිතය සඳහා උප්පැන්න සහතික, විවාහ සහතික, මරණ සහතික, අධ්‍යාපන සහතික සහ අනෙකුත් නෛතික ලියකියවිලි සත්‍යාපනය කිරීම, විදේශයන්හි අතරමං වූ ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහය වීම, සංක්‍රමණික සේවකයන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් කරනු ලබන සහන සහ වන්දි ඉල්ලීම්වලට පහසුකම් සැපයීම මෙන්ම විදේශයන්හිදී මිය ගිය ශ්‍රී ලාංකිකයන්ගේ මෘත දේහ මෙරටට ගෙන්වා ගැනීම යන කොන්සියුලර් සේවා  මෙම කාර්යාලය මඟින් මහජනතාවට ඉටු කරනු ලබන සේවාවන් අතරට ඇතුළත් වේ. ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය මාතර, අනගාරික ධර්මපාල මාවතේ අංක 391 දරන ස්ථානයේ පිහිටා ඇත. 2017 ජනවාරි මස 26 වැනි දින සිට යාපනය නගරයේද ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් ක්‍රියාත්මක වෙමින් තිබේ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS