කුවේට් තානාපති අංශ සමග සාකච්ඡා



කොවිඩ් නයින්ටීන් වසංගතය පැතිර යමින් පවතින කුවේට්හි රැදී සිටින ශ්‍රී ලාංකිකයින් තවදුරටත්  මෙරටට ගෙන්වාගැනීම සම්බන්ධයෙන් එරට තානාපති අංශ සමග සාකච්ඡා කරමින් සිටින බව විදේශ සබදතා අමාත්‍යාංශය පවසයි.  

කෙසේ වෙතත් විදෙස් රටවල රැදී සිටින ශ්‍රීලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනිමේ ක්‍රමවේදය සම්බන්ධයෙන්   රජය අවසන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙන අතර එම  සාකච්ඡාවෙන් අනතුරුව කුවේට්හි රැදි සිටින ශ්‍රීලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

කුවේට්හි මේ වන විට ශ්‍රී ලාංකිකයින් ලක්ෂයකට ආසන්න පිරිසක් රැදී සිටින අතර ඔවුන්ගෙන් 19000 ආසන්න පිරිසකට වලංගු  වීසා බලපත්‍ර නොමැති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.එම පිරිසෙන් 423 දෙනෙකු ඉකුත් සතියේදී ⁣යළි දිවයිනට ගෙන්වා ගැනීමට විදේශ සබඳතා අමාත්‍යාංශය කටයුතු කළේය.

කෙසේවෙතත් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එරට නීතිවිරෝධී ලෙස සිටින විදෙස් ශ්‍රමිකයන්ට එරටින් පිටවීම සදහා කුවේට් බලධාරින් මේ වන විට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එම කාලයේ දි කුවේට් රාජ්‍යෙයන් පිටවන ඕනෑම ශ්‍රමිකයෙකුට යළි එරටට පැමිණීමේ හැකියාව පවතින බව ද ඔවුන් ප්‍රකාශ කර තිබේ.

එහෙත් කුවේට්හි නීතිරීති කඩකරමින් තවදුරටත් එරට රැදි සිටින්නේ නම් එම ශ්‍රමිකයින්ට කිසිදු අවස්ථාවක එරටට පැමිණීමේ හැකියාවක් නොමැති බව ද ඔවුන් දැනුම් දී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.

කුවේට්හි රැදි සිටින ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසකට මේ වන විටත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර එහි සංඛ්‍යාත්මක අගය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී නොමැති බවද විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග කියා සිටී.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS