කුවේටයේ සිට ආ 72 හැවිරිදි කතට පිහිට වෙයි



කුවේටයේ 38 වසරක් ගත කළත් ඉතිරි කළ සතයක් හෝ නැතිව අංශ භංග රෝගියකු ලෙස මෙරටට පැමිණී හැත්තෑ දෙහැවිරිදි කාන්තාවක ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාාර්යංශය මගින් වැඩිහිටි නිවාස ගත කරන්නට සුදානම් කර ඇත.

ඇය අංශ භංග රෝගයෙන් පෙලෙන බැවින් මේ වන විට කටුනායක සහන පියස මධ්‍යස්ථානයේ රඳවා සිටින බව කාර්යංශය කියයි.

ඇගේ ඥාතියෙකු පිළිබඳව සොයා බැලු නමුත් කිසිවෙකු සොයා ගත නොහැකි වූ නිසා මෙසේ වැඩිහිටි නිවාසයකට භාර දෙන්නට  කටයුතු කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට  පැවැසීය.

පාහියන්දූවගේ ගුණවතී නමැති මෙම කාන්තාව තම සහෝදරියක් අම්බලන්ගොඩ බටපොල පදිංචිව සිටින බව පවසන නමුත් මේ වනතුරු ඇගේ ඥාතියෙකු සොයා  ගත නොහැකි වූ බවත් හෙතෙම සඳහන් කළේය.

1980 දි ගෘහ සේවිකාවක ලෙස විදේශ ගත වී ඇති ඇය 1996 දි මෙරටට පැමිණ ගොස් ඇති අතර එහිදී ලියාපදිංචි වී ගොස් ඇති අතර  ඉන්පසු මෙරටට පැමිණ නැති බව ද එම නිලධාරියා පැවැසීය.

කෙසේ වෙතත් වසර 30 කටත් වැඩි කාලයක් එරට සේවය කර ඇතැයි විශ්වාස කරන ඇය ඉපැයූ කිසිවක් නැතිව යළි මව් රටට පැමිණ ඇති  බවත් විදේශ රැකියාවලට යන්නේ නම් අනාගතය වෙනුවෙන් යමක් ඉතිරි කරන වැඩ පිළිවෙලකට යන්නැයි කාර්යංශය නිතර උපදෙස් දෙන්නේ මෙවැනි තත්ත්වයකට මුහුණ දීමෙන් වැළකීම සඳහා යැයි ද හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ  කළේය.

පාහියන්ගල ගේ ගුණවතී නමැති මෙම කාන්තාවගේ ළඟම ඥාතින් වෙත් නම් කාර්යංශය අමතන්නැයි ඔහු ඉල්ලා සිටියේය.  

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS