කුවේටයෙන් දූත පිරිසක්



කුවේට් රාජ්‍යයේ පාර්ලිමේන්තු මිත්‍රත්ව දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර ඔවුන් විපක්‍ෂ නායක කාර්යාලයට පැමිණ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා හමුවිය.

එරට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය අඩේල් ජෙ. ඒ. එම්. අල්ඩම්කි මහතා මෙම කණ්ඩායමේ ප්‍රධානියා විය.

දෙරට අතර තිබෙන දිගුකාලීන මිත්‍රත්වය වර්ධනය කර ගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බව මහාචාර්ය අඩේල් ජෙ. ඒ. එම්. අල්ඩම්කි මහතා විපක්ෂනායකවරයා හමුවේ පැවසීය.

කුවේට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ඔවුන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙස මෙහිදී මහින්ද රාජපක්‍ෂ මහතා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

කුවේට් රාජ්‍යයේ තෙල් පිරිපහදු ආයතන වෙත ශ්‍රී ලාංකීය ඉංජිනේරුවන්ගේ හා තාක්‍ෂණික ශිල්පීන් සේවය ලබා ගැනීමට කටයුතු කරන ලෙසද මෙහිදී විපක්‍ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

වෙනත් රටවල ශ්‍රමිකයන් ලෙස නොව ශ්‍රී ලාංකිකයන් කුවේට් රාජ්‍යයේ නීති ගරුකව සේවය කරන බව ද මහාචාර්ය අඩේල් ජෙ. ඒ. එම්. අල්ඩම්කි මහතා පැවසීය.

මෙම දූත පිරිසට එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නයාෆ් අබ්දුල්අසීස් එම්. අලජ්මි, අබ්දුල්ලාහ් එෆ්. එච්. එෆ්. ඒ. ඇලෙන්සි හා ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති ක්ලාෆ් එම්. එම්. බුදාර් යන මහත්වරුන් මෙන්ම හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි, පාර්ලිමේතු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දු යන අයද සහභාගී වූහ.

ඩයනා උදයංගනී


RECOMMEND POSTS