කිසිම ගුවන් මගියකු රස්තියාදු කරන්න එපා



රටින් පිටවීමේදී සහ මෙරටට පැමිණිමේ දී කිසිදු ගුවන් මගියෙකු අපහසුතාවකට හෝ ප්‍රමාදයකට ලක් නොවන ආකාරයෙන් ක්‍රියා කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන්තොටුපොළ බලධාරින්ට උපදෙස් දී ඇත.

ගුවන් තොටුපොළ ආශ්‍රිත ආරක්ෂක වැඩපිළිවෙළ මහජනතාව අපහසුතාවට ලක් නොවන ආකරයෙන් සිදු විය යුතු බව ද පසුගියදා පස්වරුවේ කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

රටින් පිටව යන සාමාන්‍ය ගුවන් මගියෙකු ගුවන් තොටුපොළට ඇතුල්වන අවස්ථාවේ සිට මගී පර්යන්තය ඔස්සේ ගුවන් යානයට පිවිසීම දක්වා සහ රටට පැමිණෙන ගුවන් මගියෙකු පිටතට පැමිණෙන තෙක් ගතවන කාලය,  ස්ථාන සහ ක්‍රියාවලිය ජනාධිපතිගේ නිරීක්ෂණයට ලක් විය.

ආගමන විගමන පරීක්ෂණ කටයුතු සඳහා ප්‍රමාණවත් නිලධාරීන් යොදවා මගීන්ට සිදුවන ප්‍රමාදය හැකි උපරිමයෙන් අවම කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා ආගමන විගමන අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.

ගුවන් තොටුපොළින් පිටව යන සහ පැමිණි මගීන් සමඟ ද ජනාධිපතිවරයා සුහද කථා බහක නිරත විය.

පැමිණීම සහ පිටවීම සඳහා අංගන දෙකක් නිර්මාණය කිරිමෙන් කාර්යක්ෂම සේවවාක් මගීන්ට ලබාදිය හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නව මගී පර්යන්තයේ වැඩ කඩිනමින් නිම කර ජනතා අයිතියට පත් කරන ලෙස ද උපදෙස් දුන්නේය.

කුලී රථ වෙනුවෙන් වෙනම අංගනයක් සකස් කරන ලෙස ද ගුවන් තොටුපොළ සභාපති මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතාට උපදෙස් දෙනු ලැබිණ.

ගුවන් තොටුපොළ සේවාවන්හි කාර්යක්ෂමතාව පිළිබඳව ජනාධිපතිවරයා සභාපතිවරයාට සහ කාර්ය මණ්ඩලයට සිය ප්‍රශංසාව පළ කළේය.


RECOMMEND POSTS