කැබිනට් අමාත්‍යවරු 6 ක් ඉල්ලා අස්වේ !



නව ජනාධිපති වශයෙන් ගෝඨාබය රාජපක්ෂ මහතා තෝරාපත් කරගනිමින් ලබා දී ඇති මහජන තීන්දුවට ගරු කරමින් එක්සත් ජාතික පෙරමුණ රජයේ කැබිනට් අමාත්‍යවරුන් හය දෙනෙක් සිය අමාත්‍ය ධූරවලින් මේ වන විට ඉල්ලා අස්වී සිටිති.

ඊට අමතරව රාජ්‍ය අමාත්‍යවරයෙකුත් , නියෝජ්‍ය අමාත්‍යවරයකුත් සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වී ඇත.

මෙලෙස ඉල්ලා අස් වූ කැබිනට් අමාත්‍යවරුන් වනුයේ මුදල් අමාත්‍ය මංගල සමරවීර , ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු , ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන , මහා මාර්ග හා ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් , ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලික් සමරවික්‍රම , මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක යන මහත්වරැන්ය.

රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහත්වරැන් ද සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

 

ජනාධිපතිවරණ ප්‍රතිඵලයට ගරු කරමින් ලබා දී ඇති මහජන තීන්දුවට ගරු කරමින් මෙ තීරණ ගත් බවද එම අමාත්‍යවරු සදහන් කර සිටිත.

ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කරගෙන ඇති බවත් ඊට ගෞරව කරන බවත් මලික් සමරවික්‍රම මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මෙම පාර්ලිමේන්තු සැසිවාරය අවසානයේදී ක්‍රියාකාරී දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව ද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සිය ඉල්ලා අස් වීම ගැන සදහන් කරමින් නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ. 

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS