කටාරයේ ශ්‍රී ලංකා ශ්‍රමිකයන් දෙදෙනකුට සිර දඬුවම්



කටාර්හි රැකියාවේ නියුතුව සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් දෙදෙනෙකුට දෝහ අධිකරණය මඟින් වසර 03ක සිර දඬුවමක් හා කටාර් රියාල් 20,000ක දඩ මුදලක් නියමකර ඇති බව වාර්තා වේ.

නීති විරෝධී අන්දමින් මත් ද්‍රව්‍ය වෙළඳාම, ගණුදෙනු කිරීම හා භාවිතය යන චෝදනා වලට වරදකරුවන් ලෙස ඔප්පුවීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම දඬුවම් ලබා දීමට නියෝග කර තිබෙන අතර සිර දඬුවම් කාලය අවසන් වූ පසු කටාරයෙන් පිටුවහල් කිරීමටද නියමිතය.

යම් පුද්ගලයින් පිරිසක් විසින් රහසිගතව ගංජා ඇතුළු තවත් මත්ද්‍රව්‍ය ගණුදෙනු කිරීම් හා පරිභෝජනයට කටාර්හි ආරක්ෂක අංශයට ලැබුනු තොරතුරු වලට අනුව සැකකරුවන් සොයා විමර්ශන දියත් කර තිබේ.

මත් ද්‍රව්‍ය මිලදී ගැනීමට යන ගණුදෙනු කරුවකු ලෙස පෙනී සිටි උපාය දූතයෙකු මාර්ගයෙන් අදාළ සැකකරුවන් කොටුකර ගැනීමට කටයුතු කර ඇති අතර එම අවස්ථාවේදී එක් සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

දිගින් දිගටම ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අනෙක් සැකකරුද හසුකර ගැනීමට හැකිවී තිබෙන අතර පසුව කළ සෝදිසි කිරීම් වලදී ඇසුරුම් කරන ලද මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්ද ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS